රනිල් වික්‍රමසිංහ : ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කළේ ඇයි? 'යටි අරමුණක්' තිබේද? වි‌ශ්ලේෂකයෝ කියන්නේ කුමක්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ "ඡන්ද කල් දැමීම අරමුණු කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති රනිල් වික්‍රමසිංහ "ඡන්ද කල් දැමීම අරමුණු කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් ඒ සම්බන්ධයෙන් වන නවතම උදාහරණය ලෙස පෙන්වා දෙන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය පිළිබඳව ජනාධිපතිවරයා අඟහරුවාදා (ජූනි 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ ඇතුළත් වූ කොටස් කිහිපයක සිංහල අදහස පහත දැක්වේ.

"ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය. එය ඔබ (කතානායක) විසින් කියවනු ලැබුවා. මට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය යටතේ මෙම පාර්ලිමේන්තුවේ බලතල උල්ලංඝණය වන බවට රීති ප්‍රශ්නයක් මතු කිරීමට පමණයි. ඒ වගේ ම අපි ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යි."

"ශ්‍රේෂ්ඨාධිකරණයට කොහොමත් මේ ගැන තීන්දුවක් දෙන්න බැහැ. ඔවුන් නීතිවිරෝධීව අපේ පැත්තට එනවා."

"ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ කෙටුම්පතක් ගැන තීන්දුවක් දෙන්න. ඔවුන්ට පුළුවන් එක ම දේ උපදෙස් දෙන්න විතර යි."

"මේක ඇත්තට ම මෙම පාර්ලිමේන්තුව අනුගමනය නොකළ යුතු විකෘති තීරණයක්. ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මම නිර්දේශ කරනවා."

විමල් වීරවංශගේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම ප්‍රකාශය විවේචනයට ලක් කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ගරු ජනාධිපතිතුමා ඉතා ම සූක්ෂම පන්දු යැවීමක නිරත වුණා. එතුමා හරි දක්ෂ ලෙස පළවෙනි කාරණය මතු කළේ, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෙන එන ලද තීන්දුව ගැන. එතුම ඒ තීන්දුවට අභියෝග කළා."

විමල් වීරවංශ ප්‍රකාශ කළේ, මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් දෙවන පන්දුවත්, ගෙවල් කුලී බද්ද සම්බන්ධයෙන් තුන් වන පන්දුවත් ජනාධිපතිවරයා යොමු කළ බව ය.

"ඔබතුමා දාපු පන්දු තුනෙන් බලවත් ම පන්දුව පළවෙනි පන්දුව. පළවෙනි පන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අභියෝග කරපු පන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එන තීන්දුව අභියෝගයට ලක් කරන්න පුළුවන් නම් ජනාධිපතිට හරි අගමැතිට හරි, ඒවා අපි පිළිගන්නෙ නෑ කියල කියන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් සඳහා යන්න මේ රටේ රටවැසියාට තියෙන අයිතිය මොකක් ද?"

"ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට මේ විදිහට අභියෝග කරන එක වැරදි යි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගිහිල්ල වැඩකුත් නෑ. ඔබතුමා සතුටු නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට මොකට ද අපි ශ්‍රේෂ්ඨාධිකරණයක් කියල එකක් තියාගන්නෙ?" විමල් වීරවංශ ප්‍රශ්න කළේ ය.

'ජනාධිපතිගේ ප්‍රකාශය හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ගැන සමාජයේ අවතක්සේරු හැඟීමක් ඇති වෙන එක නතර කරන්න බැහැ'

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සතු බලය සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක තත්ත්වයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසයි.

"කොල්වින් ආර්. ද සිල්වා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදපු වෙලාවෙ එයා කිව්වා, ජනතා පරමාධිපත්‍යයට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැ කියලා. එයා ඒකෙන් අදහස් කරපු දේ තමයි, ජනතාවට තියෙන්නෙ බලය. පාලකයින්ට තියෙන්නේ අධිකාරිය. ජනතාවට බලය තියෙනවා, ඒ බලයෙන් කොටසක් පවරනවා ආපහු ගන්න පුළුවන් විදිහට."

"ජනතාව සතු අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම ජනතාව සතු විධායක බලය ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ ජනතාව සතු බල තුන නිසා. මෙතන ගේන තර්කය තමයි, ජනතාවගේ බලය නියෝජනය වන තැන තමයි, පාර්ලිමේන්තුව. මේවට උඩින් කිසි ම නීතියක් තියෙන්න බෑ කියන එක තමයි මේකෙන් තර්ක කෙරෙන්නේ."

"ඒක තමයි සමහරු ස්ථාවර නියෝග යටතේ, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ, උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව ඇතුළේ අධිකරණයට අපහාස කළා කියලා මුකුත් කරන්න බෑනෙ. ඒකට හේතුව තමයි, අර දේශපාලන න්‍යාය."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිනොගන්නා බව ප්‍රකාශ කිරීම හරහා සමාජයේ ඇති වන තත්ත්වය පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක කියා සිටියේ "රනිල් වික්‍රමසිංහ එහෙම කතාවක් කිව්වට පස්සේ එළියෙ එහෙම අවකාශයක් හැදෙන එක, ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් අවතක්සේරුවක්, බැරෑරුම් තත්ත්වයක් නෑ කියල හිතෙන එක පාලනය කරන්න බෑනෙ. මිනිස්සු එහෙම අදහසක් ඔළුවට ගන්නවා." යනුවෙනි.

'ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හැරීම සඳහා පරිසරය සකසා ගැනීමක්'

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සරලව සැලකිය නොහැකි බව විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පෙන්වා දුන්නේ ය.

"මට හිතෙන්නෙ දිගින් දිගට ම මේක තියෙන එකක්. පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපහු එවන පනත් කෙටුම්පත්වලට ඇතුළත් කරන මේ සංශෝධන නිවැරදිව පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙනවා ද කියන සැකයක් ඇති වෙලා තියෙනවා දැන්. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ජනතාවගේ ස්වාධිපත්‍යයට බලපාන කාරණයක්. රාජ්‍යයක යුක්තිය ඉෂ්ට කිරීම සඳහා අධිකරණය සතු බලය අනිවාර්යයෙන් ම අවශ්‍ය යි."

"ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන අංශ දෙක ම කෙලින් ම ජනතාව තමයි පත් කරන්නේ. අධිකරණයට අපි පත් කර ගන්නේ රටේ ඉන්න නීතිය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ බලයත් උත්තරීතර යි. පාර්ලිමේන්තුව සතු උත්තරීතරභාවය ම ඔවුන් සතුවත් තියෙනවා. ඒ නිසා අධිකරණයට අභියෝග කරන්න පාර්ලිමේන්තුවට කිසි ම අයිතියක් සහ ඒකට සුජාතභාවයක් ලැබිල නැහැ."

"පාර්ලිමේන්තුව සහ විධායකය දෙක ම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ"

මෙලෙස අධිකරණයට අභියෝග කරමින් සිටිනුයේ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ආයතන දෙකක් බව ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.

"මේ මොහොත ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව සහ විධායකය දෙක ම ජනතාවගේ අභියෝගයට ලක් වුණ ආයතන දෙකක් නෙ. ජනතාව ප්‍රතික්ෂේප කරපු ආයතන දෙකක්. හරි නම් කළ යුත්තේ නැවත ජනතාව ඉදිරියට යන එක, අධිකරණයට අභියෝග කරන එක නෙවෙයි ඇත්තට ම."

මේ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය නොලසකා හරිමින් සිය කාල සීමාව දීර්ඝ කර ගැනීමේ වෑයමක නිරත වන ආකාරයක් පෙනී යන බව ද ආචාර්ය අතුලසිරි සමරකෝන් ප්‍රකාශ කළේ ය.

"ඉදිරියේදී ජනාධිපතිවරයාගේ කාල සීමාව දික් කර ගැනීම පිළිබඳ යෝජනාව සමහර වෙලාවට එන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ම, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙනු ලබන තීන්දුව කුමක් වුවත්, පාර්ලිමේන්තුව විසින් ගන්නා තීරණය වලංගුයි කියල කියන්නත් පුළුවන්. මේ මොහොතේ මේ ව්‍යවස්ථාවට සිදුවීමට යන මේ බලපෑම පිළිබඳව යම් අනතුරු ඇඟවීමක් මේ හැසිරීම තුළ තියෙනවා."