'කාන්තාවන්ට ඡන්ද වරම් අහිමි' ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය පැවැත්වෙන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
බෞද්ධයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන දළදා වහන්සේගේ ගිහි භාරකත්වය හිමි වන්නේ දියවඩන නිලමේවරයාට ය.
ඔහු පත් කර ගැනීම සඳහා රජ සමයේ සිට පැවත එන සම්ප්‍රදායක් පවතින අතර ඒ සඳහා නීතිරීති අණ පනත් ද පවතින්නේ ය.
දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා පත්වන දියවඩන නිලමේවරයාට ඒ සඳහා වසර දහයක කාලයක් වගකීම් පැවරෙන අතර ඔහු පත් කිරීමේදී ඡන්ද විමසීමක් සිදු කළ ද එය නිලවරණයක් නොව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව කැඳවන ලද රැස්වීමක මත විමසීමක් වන්නේ ය.
දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගන්නේ කෙසේ ද?
දියවඩන නිලමේවරයෙකුගේ නිලය පුරප්පාඩු වී තෙමසක් ඇතුළත ඔහු තෝරා පත් කර ගත යුතු බවට 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් ය.
ඒ සඳහා "මල්වතු විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහනායක හිමිවරුන් දෙපළට, උඩරට අය වන අධිකාරම්වරු හා දිශාවරු, උඩරට දිසාවන් තුළ නිල දරන රටේ මහත්වරු සහ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරු, උඩරට දිසාවල පිහිටි සියලු ම දේවාලවල බස් නායක නිලමේවරු, එවකට ගත වූ තුන් අවුරුද්ද තුළ වාර්ෂිකව ආදායම් රු. දහසකට වැඩි යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ගණන් ගනු ලබන උඩරට දිසාවන් තුළ පිහිටි සියලු ම සිද්ධස්ථානවල භාරකරුවන්ට," බලය පැවරේ.
සාම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක දහසයක් තුළ පිහිටි රජ මහා විහාරස්ථාන 157ක භාරකාර හිමිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් 170 දෙනෙකු, දේවාලවල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු හා විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් හතර දෙනෙකු ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද අයිතිය හිමිව තිබේ.
නමුත් 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව, මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර නිලවරණයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.
"දැනට තියෙන පනත අනුව නම් කාන්තා නිලධාරිනියන්ට ඡන්ද බලය නැහැ," බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ඇත්තේ ලියා පදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂුන් වහන්සේලා වීම ද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීමට බෟද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267 දෙනෙකුට ය.
මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද උපකල්පනය කළ හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 51%ක් පමණ උන්වහන්සේලා සතුව තිබීම ය.
ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රහසිගත ඡන්දයකින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගත යුතු බව පනතේ සඳහන් ය.
පුරප්පාඩු වී ඇති නිලයට තේරීම සඳහා එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර අනුමත කර ඇත්නම්, එම තැනැත්තා දියවඩන නිලයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.
නමුත්, එක් අයෙකුට වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී අනුමත කර ඇත්නම්, ඡන්දය ගෙන වැඩි ඡන්දය ගත් තැනැත්තා දියවඩන නිලයට පත් වීම සිදුවේ.
එම තැනත්තා වයස අවුරුදු හැත්තෑව නොඉක්මවූ අයෙකු විය යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මෙවර නිලවරණයට ඉදිරිපත් වන්නේ කවුද?

මේ වන විටත් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට අමතරව තවත් පස් දෙනෙකු නිලවරණයට ඉදිරිපත් වන බව මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන්ට දැනුම් දී තිබේ.
ඔවුන් අතර මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ සරත් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ, පී.එම්. රෝෂාන් ප්‍රියදර්ශන හා ගාමිණී කළුහෙන්දිවෙල යන අය සිටිති.
මෙයින් ආචාර්ය සුබසිංහ හැර අනෙකුත් සියලු දෙනා දැනටමත් දේවාලවල බස්නායක නිලමේ තනතුරු උසුලන අය වෙති.
කෙසේ වෙතත්, සත්‍ය වශයෙන් ම ඔවුන්ට මෙම තරගයට ඉදිරිපත් විය හැක්කේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් කැඳවනු ලබන රැස්වීමේදී ඔවුන්ගේ නම් යෝජනා වී ස්ථිර වුවහොත් පමණි.
දියවඩන නිලමේ තනතුරේ ඉතිහාසය

1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරුන් දහනව දෙනෙකු කටයුතු කර ඇති අතර දහනව වැන්නා ප්‍රදිප් නිලංග දෑල ය.
ඔවුන් අතරින් වැඩි ම වසර ගණනන් අඛණ්ඩව නිලමේ ධූරය දරා ඇත්තේ පුංචි බණ්ඩා නුගවෙල නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය (1916 -1937) වසර 21කි. එමෙන් ම ඉතිහාසයේ අඩු ම කාලයක් දියවඩන නිලමේ ධූරය දරා ඇත්තේ කුඩා මොල්ලිගොඩ නිලමේවරයා ය. ඔහුගේ නිල කාලය වසරක් (1827 - 1828) පමණි.
හිටපු දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ සිට දෙවතාවක් එම ධූරයට පත්ව වසර විස්සක කාලයක් අඛණ්ඩව කටයුතු කර ඇත.
ඔහුගේ ධූර කාලය ඉකුත් 7 වන දා අවසන් වීමෙන් පසුව නව දියවඩන නිලමේවරයෙකු පක් කර ගන්නා තුරු වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල ම ඒ සඳහා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර ඇත්තේ බෞද්ධ විහාර දේවාලගම් පනතින් ඔහුට පැවරී ඇති බලතල අනුව ය.
වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහිව පෙත්සමක්
මේ වන විට දියවඩන නිලමේ තනතුරේ නිල කාලය අවසන් වී ඇති අතර දැනට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර තිබේ.
මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත් කරනු ලැබ ඇත.
දශක දෙකක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කර ඇති අතර ඔහු ද මෙවර දියවඩන නිලය සඳහා වන නිලවරණයට ඉදිරිපත් වී ඇත.
ප්‍රදීප් නිලංග දෑල වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගම්පොළ, සාලිය ප්‍රසාද් නන්දසිරි නමැති අය අභියාචනාධිකරණයට වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මෙම මස 23 වන දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න පවසන්නේ, තමන්ට පැවරී ඇති බලතල අනුව තමන් කටයුතු කර ඇති බව ය.
"දියවඩන නිලමේ තනතුර පුරප්පාඩු වුණා ම කටයුතු කළ යුතු ආකාරය විහාර දේවාලගම් පනතේ සඳහන් වෙනවා. ඒ අනුව තමයි මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ එකඟතාව ලබා ගෙන වැඩබලන දිය වඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත් කරන්නට කටයුතු කරනු ලැබුවේ," ඔහු පැවසීය.
"එහි වරදක් තිබෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න මෙරට පුරවැසියන්ට තිබෙන අයිතියට මම ගරු කරනවා. ඒ වගේ ම ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් මට කැඳවීමක් ලැබුණොත් මම අධිකරණයේ පෙනී සිට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර ගැනීම සඳහා දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන ගැන කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා," කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රදීප් නිලංග දෑල ඉතිහාසයට එක්වනු ඇති ද?

ඡායාරූප මූලාශ්‍රය, Kingsley Perera | Pradeep Nilanga Dela | Facebook
හිටපු හා වත්මන් වැඩබලන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑල මෙවර තේරීපත් වුවහොත් ඔහු වැඩි ම කාලයක්, වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
ඔහු ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසකි; "ඇත්තට ම මම විශ්වාස කරනවා දියවඩන නිලමේ ධූරයේ සිටිමින් පසුගිය වසර විස්සක කාලය තුළ මවිසින් ඉටු කර ඇති විශාල කාර්යය නිම කළ යුතුයි කියලා."
ඔහු තවදුරටත් මෙසේ පැවසීය:
"ලෝක බෞද්ධ ප්‍රජාවට ඉතාම ප්‍රියමනාප හා පහසුකම් සහිත තැනක් බවට ශ්‍රී දළදා මාලිගාව පත් කර ගන්න පසුගිය කාලයේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේ ම බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ ධර්මය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කර තිබෙනවා. ලෝක බෞද්ධ කෞතුකාගාරයක් ඉදි කර තිබෙනවා. සාමාන්‍ය කැමරාවක්වත් නොතිබුණ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර සජීවීව විකාශය කළ හැකි අංග සම්පූර්ණ මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කර තිබෙනවා.
මේ ආකාරයට දළදා මාලිගාවේ අදායම - වියදම ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මෙවැනි කටයුතුවල තව පියවර රැසක් ඉදිරියේ ඉටු කරන්න තිබෙනවා. ඒ කටයුතු නිම කරන්න තමයි මෙවරත් නිල වරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ."
නිලවරණයට ඉදිරිපත් වන සෙසු පාර්ශව පවසන්නේ මොනවා ද?
කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ පෙන්වා දෙන්නේ, නව වැදැරුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී දළදා මාලිගාව ලෝකයේ බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තමන් මෙම නිලවරණයට ඉදිරිපත් වූ බව ය.
"මම විශ්වාස කරනවා මගේ බස්නායක නිලමේ අත්දැකීම් සමග කළ පුරුද්ද, දැක පුරුද්ද හා පළපුරුද්ද එක්ක ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගෙන මෙරට මෙන් ම විදෙස් රටවල බෞද්ධ ජනතාවට උසස් සේවාවක් කරන්න පුළුවන් කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.
මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක මෙවර දියවඩන නිලමේ ධූරය අපේක්ෂාවෙන් ඒ සඳහා කටයුතු කරන අයෙකි.
මාතලේ අම්බොක්ක දේවාලය හා ඇම්බැක්ක කතරගම දේවාලය යන දේවාලයන්හි වසර 17ක කාලයක් බාස්නායක නිලමේ ලෙස කටයුතු කර ඇති ඔහු මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්ව ඇත්තේ 2022 වර්ෂයේදී ය.
"දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරන්න ලැබුණොත් මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිසල් සේවාවක් කරන්න පුළුවන්. විශේෂයෙන් මෙරට අඩු ආදායම් ඇති පිටිසර විහාරස්ථාන නගා සිටුවා රට තුළ අලුත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා මට කැප වෙන්න පුළුවන්," ඔහු පැවසීය.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන තිලක් සඳරුවන් සුබසිංහ ද මෙවර දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීමේ නිලවරණයට ඉදිරිපත්ව සිටින්නේ ය.
"මම මහාචාර්යවරයෙක් විදිහට මේ දියවඩන නිලමේ තනතුරට ඉදිරි පත් වුණේ දිගු කාලයක් බෞද්ධ ධර්මය පිළිබඳව පර්යේෂණ කර අවබෝධ කර ගත් බෞද්ධ ධර්මයේ ඇති පාලන කළමනාකරණ මූලධර්ම ලෝකයේ සියලු ජනතාවගේ සතුට හා සෞභාග්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි තනතුරක් නිසයි," මහාචාර්යවරයා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ සෝනුත්තර රජ මහා විහාරයේ හා සතර මහා දේවාල භාරකාර මහ නිලමේවරයා ලෙස කටයුතු කරන පී.එම්. රෝෂාන් ප්‍රියදර්ශනයන් ද මෙවර දියවඩන නිලමේ ධූරය අපේක්ෂාවෙන් කටයුතු කරන තවත් අයෙකි.
"ඇත්තට ම මෙරට බෞද්ධ පුනරුදයක් ඇති කරන්න පුළුවන් ස්ථානය ශ්‍රී දළදා මාලිගාවයි. මෙරට නොදියුණු විහාර හා පිරිවෙන් දියුණු කරන්න විදෙස් දානපතියන් සම්බන්ධ කර ගෙන කැපකරු මාපිය ක්‍රමයක් හදන්න පුළුවන්," ඔහු පැවසීය.













