කඨීන පෙරහැර: එදා සහ අද ගැන විමසා බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Maspotha Sirisumanaramaya
වෙසක්, පොසොන්, ඇසළ යන ප්‍රධාන බෞද්ධ පූජෝත්සවවලට නොදෙවෙනි කඨින චීවර පූජෝත්සවය මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වේ. එයින් ද ඔබ්බට ගොස් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වාසය කරන වෙනත් රටවල පවා කඨින චීවර පූජෝත්සවය පවත්වන දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල හුවමාරු විය. බුදුන්වහන්සේ ජීවමානව සිටි සමයේ දී ආරම්භ වූ මෙම කඨින චීවර පූජාව, ශ්‍රී ලංකාවේ මේවන විට විවිධ සංස්කෘතිකාංග සමඟ වර්ධනය වී තිබේ.
කඨින චීවරය පන්සලට භාර දීමට මත්තෙන් ගම පුරා සිටින උපාසක උපාසිකාවන්ට චීවරට අත ගසා නමස්කාර කිරීම සඳහා කඨින චීවරය ගම පුරා වැඩැමවීම සිදුවේ. එය කලින් කලට එක් වූ විවිධ සංස්කෘතිකාංග සහිත ව පෙරහැරක් ලෙස වර්ධනය වි ඇත. එම කඨින පෙරහැර සම්බන්ධව මේ වන විට විවිධ මත පලවෙමින් ඇති අතර, ඊට එක් වී ඇති විවිධ අලුත් අංග පිළිබඳ ඇතැමුන්ගෙන් එල්ල වී ඇත්තේ බරපතළ විවේචනයකි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook| Maspotha Sirisumanaramaya
බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ "වස් විසීම"
කඨින චීවර පූජෝත්සවය බැඳී පවතින්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ "වස් විසීම" සමඟයි. ඇසළ පොහොයට වස් විසීම ආරම්භ කරන භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ ඉල් වප් පොහොයත් ඉල් පොහොයත් අතරමැද කාලයේ දියි. වර්තමානයේ දී එය සිදුවන්නේ බොහෝවිට නොවැම්බර් මාසයේදීයි.
ඉන්දියාවේ වර්ෂා කාලය ආරම්භවන විට ධර්ම ප්‍රචාරයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා තෙතබරිතව අපහසුතාවයෙන් සිටින බව දුටු බුදුන් වහන්සේ වස් විසීමට අවසර ලබා දුන් බව බෞද්ධ මූලාශ්‍රවල සඳහන් ය. එමෙන් ම ඉන්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී පැවති අවිහිංසාවාදි ආගමක් ලෙස සැලකෙන ජෛන ආගමිකයන් ද වර්ෂා කාලයේ දී සැරිසැරීම නවතා තිබුණේ වර්ෂා සමයේ වර්ධනය වන අලුත් පැළෑටි සිය පයට පෑගී තැලී පොඩි වෙතැයි සිතමින් ය. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වර්ෂා කාලයේදිත් ධර්ම ප්‍රචාරයේ යෙදීම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් වී ඇත. මෙම හේතු දෙක නිසා බුදුන් වහසේ භික්ෂූන් වහන්සේලාට වස් විසීමට අවසර ලබා දී ඇත.
එලෙස වර්ෂා සමයේ දී විහාරස්ථානයක රැඳී සිටීමට උපාසකයන්ගෙන් ආරාධනා ලබන භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයට වී සිය භාවනා කරමින් සිය ආධ්‍යත්මය දියුණු කරගැනීමට උත්සහ කළ යුතු ය. වස් සමාදන් වීම සහ එහි දී භික්ෂූන්වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මහාවග්ග පාලිය සහ විනය පිටකයේ සඳහන් වේ.
කඨින චීවර පූජාවේ ආරම්භය
බුද්ධ සමයේ දී ඉතා අල්පේච්ඡව ජීවත්වීමට සිදු වූ භික්ෂූන් වහන්සේලා සතුව තිබී ඇත්තේ එක් සිවුරක් පමණි. බෞද්ධ සාහිත්‍යට අනුව භික්ෂූන් වහන්සේලා සිවුරු සකස් කරගෙන තිබෙන්නේ සොහොන්වලට මළමිනී ගටගසා දමන රෙදි කැබලි එකතුකරගෙනයි. වස් නැතහොත් වර්ෂා කාලයේ දී වැස්සෙන් තෙමී සිදුවන අපහසුතා වළක්වා ගැනීමට තවත් අමතර සිවුරක් තබා ගැනීමට බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවසර ලබා දුන් බව කියැවේ. මහාවග්ග පාලියට අනුව එම චීවර පූජාව සිදු කළ යුත්තේ වස් විසීමට ආරාධනා කළ උපාසක උපසිකාවන් විසින් ය.
එහි දී සුදු පැහැති වස්ත්‍රයක් උපාසකයන් විසින් වස් විසීමට ආරාධනා ලැබූ ස්වාමීන් වහන්සේට පූජා කරන අතර, එම වස්ත්‍රයට එදිනම පඬු පොවා, මසා එයින් සකස් කරන චීවර හැඳ ස්වාමීන් වහන්සේ පසුදින බණ කීම අතීතයේදී දී සිදු වූ චාරිත්‍රයකි. වර්තමානය වන විට ඒවායේ යම් යම් වෙනස් කම් සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ කඨින පූජෝත්සවයේ ආරම්භය
දේවානම්පියතිස්ස රජ සමයේ දී මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට වැඩම කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කඨින පිංකම ආරම්භ වී තිබේ. මිහිඳු මහරහතන්වහන්සේ පොසොන් පොහොය දිනක දී ශ්‍රී ලංකාවට වැඩම කළ අතර මීළඟ පොහොය දින එනම්, ඇසළ පොහොය දිනයේ දී දේවානම්පියතිස්ස රජුගේ ආරාධනා ලැබ වස් විසීම ආරම්භ කළ බව කියැවේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කඨින චීවර පූජාව ඒ අනුව දේවානම්පියතිස්ස රජ සමයේ දී ආරම්භ වී ඇත. ආරම්භයේ පටන් ම රාජ්‍ය අනුග්‍රහය සහිත වූ මෙම පූජෝත්සවයට විචිත්‍රවත් පෙරහැරක් එක් වන්නේ දුටුගැමුණු රජ සමයේ දී බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
"වර්තමානයේ විවිධ වාහනවලින් කඨින පෙරහැර සමන්විත වෙනවා වගේම ඒ කාලයෙ දී ඇතුන් පිට තබලා කඨින චීවරය වැඩම්මවූ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ විදිහට ඇතුන්, අසුන් යොදාගෙන විචිත්‍රවත් අංග යොදාගෙන කඨින චීවරය වැඩමවීම සිදු කළේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටයි. ඉන් පසුව රජවරුන් විශාල ගණනාවක් කඨින චීවරය ඇතුන් පිටින් වඩමවා ගෞරව දක්වලා තියෙනවා," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
එහි දී අප මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ එම පෙරහැරට ඉන්දියානු ආභාසයක් තිබේ ද යන්නයි. "කඨින චිවර පෙරහැර ශ්‍රි ලංකාවේ දී ම ආරම්භ වුණු එකක්. ඒක ඉන්දියාවේ දි පවතුණා කියලා කිසිම සාක්ෂියක් නෑ. මුල් කාලයේ දී කඨින චීවරයට උපාසක උපාසිකාවන්ට වන්දනාමාන කරන්න අරමුණු කරගෙන චීවරය රැගෙන ගම හෝ නගර වටේ යාම පස්සෙ කාලෙක පෙරහැරක් දක්වා වර්ධනය වුණා. දුටුගැමුණු රජතුමා කඨින පෙරහැර 24ක් පමණ කළ බව කියැවෙනවා," යැයි මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
"එක් එක් කාලයේ දී තිබුණ සංස්කෘතිකාංග මේ පෙරහැරට එකතු වුණා. රජ කාලයේ දී ඇත්තු, අශ්වයො යොදාගත්තා. වර්තමානයේ දී විවිධ වාහන යොදාගත්තා. අතීතයේ දිත් බෙර වාදනයන් සිදු වුණා. වර්තමානයේ අපි දකිනවා විවිධ ජනප්‍රිය සින්දු බෙදවාදනයන් කරනවා. බුද්ධාගමේ තිබෙන පිළිගැනීම් අනුව ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඔය පෙරහැර බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කරන නිසා නිදි මැරීමේ පහසුවට එහෙම කරනවා වෙන්නත් පුළුවන්. කොහොමත් මේ පෙරහැර වර්ධනය වුණේ එක් එක් කාලවල එකතු වුණු සංස්කෘතිකාංග එක්කයි."
"අලුත්වුණු කඨින පෙරහැර ලෞකික පැත්තට බරයි"
මෙලෙස නව සංස්කෘතිකාංග එක් වූ අලුත් කඨින පෙරහැර ලෝකෝත්තර දර්ශනයට වඩා ලෞකික සැපයන් පැත්තට බර වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ආචාර්යවරයෙකු වන වසන්ත මෙන්ඩිස් පැවසුවේ ය.
"දැන් අපි දකිනවා එක එක පැතිවල විවිධ විදිහට පෙරහැර පවත්වනවා. ජනප්‍රිය සින්දු වාදනය කරහෙන යනවා. එක එක වාහන පෙරහැරට යොදාගන්නවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ පෙරහැර වර්තමානය වන විට ලෞකික පැත්තට බර වෙලා කියන එක," ආචාර්යවරයා පැහැදිලි කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ මීට පෙර පැවති පෙරහැර ඉතා සරල එකක් වු බවයි. "රජතුමාගේ අනුග්‍රහය යටතේ රාජ්‍ය උත්සවයක් විදිහට පැවැත්වුණු මේ උත්සවය රජ කාලෙන් පස්සෙ හරිම සරල චාම් උත්සවයක් විදිහට පැවැත්වුණා. කඨින පෙරහැරක් වුණත් ඉතා චාම් විදිහට පැවත්වුණේ. අතීතයෙදී අලි ඇතුන් පිටින් කඨින චිවරය වැඩම්මුවාට එහි තිබුණේ රාජ්‍ය ගෞරව දැක්වීමේ අරමුණක්. සංස්කෘතියේ වෙනස්වීම ගැන අපට විවේචනයක් කරන්න නොහැකි වුණත් වර්තමානයේ ලෞකිකත්වය තමයි මේ පෙරහැරෙන් වැඩිපුර ඉස්මතු වෙලා තියෙන්නෙ."
එහි දී ආචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ එම තත්ත්වය බුද්ධාගමේ උපාසක උපාසිකාවන් විසින් සිතා බලා වෙනස් කරගත යුතු දෙයක් බවයි.
"මහාවග්ග පාලියේ සහ භික්ෂූන් වහන්සේලාට පනවලා තිබෙන විනය නීති අනුව කඨිනය පවත්වන්න කිසිදු මැදිහත්වීමක් භික්ෂූන් වහන්සේලාට කරන්න අවසර නෑ. සම්පූර්ණයෙන් ම ඒක සංවිධානය කිරීම සිදුවන්නේ උපාසක උපාසිකාවන්ගේ පැත්තෙන්. ඒ නිසා මෙවැනි පිංකමක දී බුද්ධාගමේ අරමුණු ඉතා හොඳින් පිළිබිඹු වන සංස්කෘතිකාංග එක් කරගැනීම ඉතා වැදගත්." ඔහු කියා සිටියේය.












