7 දෙනෙක් අතර තරගයක් බවට පත්ව ඇති ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන නිලවරණය පැවැත්වෙන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරගත්කාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (නොවැ: 07) පස්වරුවේදී මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරියේදී පැවැත්වේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී උඩරට රාජධානියට අයත් බල ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග බස්නායක නිලමේවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු 267 දෙනෙකු දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සඳහා ඡන්දය දීමට සුදුසුකම් සපුරා තිබේ.
මෙවර ඉදිරිපත් වන්නේ කවුද?
අද (07) පැවැත්වෙන නිලවරණයට වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ, ඓතිහාසික පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයකු වන ගාමිණී කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ හා සතර මහා දේවාලවල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන සහ යුද්ධ හමුදා විශ්‍රාමික කර්නල් නන්ද මඩුගල්ලේ සාම්ප්‍රදායනුකූලව මහනායක මාහිමිවරුන් වෙත දැහැත් පිළිගන්වා මෙම නිලවරණය සඳහා ඉදිරිපත් වන බව සැලකර සිය නම් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
නිලවරණයට ඡන්දය දීමේ අවස්ථාව ඇත්තේ කාට ද?
නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිවරුන් දෙන ම ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු 267දෙනකු පමණ සුදුසුකම් ලබා සිටිති. පැරැණි උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය සහ අම්පාරේ සිංහල පත්තු ද මොණරාගල, බදුල්ල, කෑගල්ල, රත්නපුර ගාල්ල හිනිදුම් පත්තුව සහ මාතර මොරවක් කෝරළේ ද ඊට අයත් ය.
ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනෙකු හා විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර ඇති දේවාලවල බස්නායක නිලමේවරුන් 29 දෙනෙක් ද ඡන්දය පාවිච්චි කිරීමට සූදානම්ව සිටිති.
උඩරට රාජධානි ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන නමුත්, බස්නායක නිලමේවරුන් වන දමින්ද බණ්ඩාර උඩුරාවණ සහ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහත්වරුන් දේවාල දෙක බැගින් නියෝජනය කරන හෙයින් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එක් දේවාලයක් නියෝජනය කරමිනි.
එවිට ඔවුන් දෙපළට භාවිත කළ හැක්කේ ඡන්ද හතරක් වෙනුවට ඡන්ද දෙකකි. ඒ අනුව බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29කට සීමා වී ඇත.
අද (07) නිලවරණය පවත්වන ශාලාවට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයන්ට හා ඡන්ද දායකයන්ට පමණි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 දී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමග දළදා වහන්සේ ද ඔවුන්ගේ භාරකාරත්වයට පත්විය. සුදු ජාතිකයන්ට එරෙහිව 1818 හා 1848 ක්‍රියාත්මක කළ නිදහස් සටන්වලින් පුරවැසියා පරාජයට පත්වීමෙන් අනතුරුව 1853 ශ්‍රීමත් දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිවරුන් දෙනමට ද ගිහි භාරකාරත්වය
දියවඩන නිලමේවරයාට ද පැවරීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ.
ඒ අනුව, මෙවර පත්වන 20 වන දියවඩන නිලමේවරයාට 2035 වන තෙක් ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාවේ ගිහි භාරකාරත්වය පැවරෙනු ඇත.
මෙවර දියවඩන නිලමේ ධූරය සඳහා ඉදිරිපත්වන බවට හත් දෙනකු නම් ප්‍රසිද්ධියට පත්කර තිබෙන මුත් මෙම නම් තහවුරු වන්නේ ධුරය සඳහා කැඳවන රැස්වීමේදී යෝජනා ස්ථිර වුවහොත් පමණි.
එය විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන්ව ඇති අතර එසේ යෝජනා වන නම් පිළිගැනීම බෞද්ධ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරේ.
මෙතෙක් මෙම ධූරය කිසිවෙකුත් අවස්ථා තුනක් දරා නොමැති අතර මීට පෙර අවස්ථා දෙකකදී දියවඩන නිලමේ බවට පත්ව සිටි ප්‍රදීප් නිලංග දෑළ යළි මෙම ධූරයට පත්වුවහොත් ඔහු තෙවරක් දියවඩන නිලමේ ධූරයට පත්වූ පළමු වැන්නා බවට පත්වනු ඇත.
මෙතෙක් දියවඩන නිලමේ ධූරය දැරුවේ කවුද?
රජ සමයෙන් පසු උඩරට රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධූරය පුද්ගලයන් 19 දෙනෙකු දරා තිබේ.
ඒ අනුව, 1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරුන් 19ක් දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය දරා ඇත.
කපුවත්තේ අධිකාරම්, දෙහිගම ලොකුබණ්ඩාර, කුඩා මොල්ලිගොඩ, කුඩා දෙහිගම, මුල්ලේගම අධිකාරම්, දූල්ලෑවේ අධිකාරම්, ලොකු බණ්ඩාර දෙහිගම, කුඩාබණ්ඩා දුනුවිල, කුඩා මුදියන්සේ ගිරාගම, සෙනෙවිරත්න රත්වත්තේ, කුඩා බණ්ඩාර නුගවෙල, පුංචි බණ්ඩා නුගවෙල, ටිකිරි බණ්ඩා රත්වත්තේ, කුඩා බණ්ඩා නුගවෙල, හැරිස් ලෙව්කේ රත්වත්තේ, හීන් බණ්ඩා උඩුරාවණ, නිශ්ශංක පරාක්‍රම විජයරත්න, නෙරන්ජන් ප්‍රියදර්ශන දුල්ලෑව විජයරත්න සහ ප්‍රදීප් නිලංග දෑළ ඒ අතර වෙති.
වර්ෂ 2015 දී අවසන් වරට පැවැත්වුණු දියවඩන නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණයේදී තේරී පත්වූ ප්‍රදීප් නිලංග දෑළගේ නිල කාලය සැප්තැම්බර් 07 වන ද නිමාවට පත් විය. එදිනට පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිවරුන් දෙනමගේ නිර්දේශය මත එම තනතුරේ වැඩ බැලීමට නිලංග දෑළ පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේ විහාර දේවාලගම් පනතේ නියමයන්ට අනුකූලව ය.
පැවිදි භාරකරුවන්
දළදා වහන්සේගේ පැවිදි පාර්ශ්වයේ භාරකරුවන් වන්නේ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක හිමිවරුන් දෙනම ය. ගිහි භාරකරුවා ලෙස පත්වන දියවඩන නිලමේ බෞද්ධයන්ගේ නායකයා ලෙස පිළිගැනේ.
මහනායක හිමිවරුන් දෙනමට ජීවිත කාලය පවතින තෙක් උතුම් දළදා වහන්සේගේ භාරකාරත්වය දැරීමට හැකි ය. විහාර දේවාලගම් ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයකට සීමා වෙයි. නමුත් වසර දහයකට වරක් පැවැත්වෙන නිලවරණයේදී ඉදිරිපත් වී එම තනතුරට නැවත පත්වීමට හැකියාව ඇත.














