මහින්ද රාජපක්ෂ නිල නිවසින් නික්ම යද්දී පැවසුවේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, SLPP
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගියේ ය.
එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, "අපිට යන්න කිව්වා, අපි යනවා" යනුවෙනි.
ඔහු ප්‍රකාශ කළේ, දේශපාලන කටයුතුවල ඉදිරියටත් නිරත වන බව ය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමග රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
'ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ, නිවස යළි රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බව ය.
"අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්ට්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.
"මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි... සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ."
මේ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසි සිංහල සේවය වෙත පැවසීය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත යි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් ඊයේ (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයකින් තොරව සම්මත විය.
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.
- හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
- හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
- හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.



































