ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම: 'මේක හොඳ පියවරක්, රෙදි මල්ලක් පාවිච්චි කරන්න රජය මිනිස්සු දිරි ගන්වන්න ඕන'

බහාලුම් මලු යන්නෙන් “සිලි සිලි බෑග්” ලෙස පොදුවේ හඳුන්වනු ලබන මිලදී ගත් භාණ්ඩ රැගෙන යාමට භාවිතා කරන “අතළු සහිත” කුමන හෝ පරිමාණයකින් යුතු මලු බවත් ගැසට් නිවේදනයේ දක්වා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

බහාලුම් මලු, නැතහොත් අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන සිලි බෑග් නොමිලේ ලබා දීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණය නියෝගයක් මත පදනම්ව තීන්දුව ලබා දුන් දිනයේදී ම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම විධානය පරිදි අඩු ඝනත්වයකින් යුත් පොලිඑතලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලින් අමුද්‍රව්‍යවලින් සාදන ලද බහාලුම් මලු වෙළෙන්දෙකු විසින් නොමිලේ ලබා දීම නොකළ යුතු ය.

තව ද ඒවායේ මිල බිල්පතට ඇතුළත් කළ යුතු අතර මලුවල මිල ගණන් ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු ය. මෙම නීතිය නොවැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වේ.

බහාලුම් මලු යන්නෙන් "සිලි සිලි බෑග්" ලෙස පොදුවේ හඳුන්වනු ලබන මිල දී ගත් භාණ්ඩා රැගෙන යාමට භාවිත කරන "අතළු සහිත" කුමන හෝ පරිමාණයක යුතු මලු බව ද ගැසට් නිවේදනය මගින් පැහැදිලි කර ඇත.

Gazzette Notification

ෂොපින් බෑග් නොමිලේ දීම නැවැත්වීමට හේතු වූ නඩුකරය කුමක් ද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් හරහා මෙලෙස විධානයක් පනවනු ලැබුවේ, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් අනුව ය.

මෙරට පොලිතීන් භාවිතය හා ෂොපින් බෑග් භාවිතය නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් 2022 වසරේ ගොනු කරන මෙම පෙත්සම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රෙය් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මෙලෙස පැහැදිලි කළේ ය.

"ඒ නඩුව පැවරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා මීට පෙර පවරා ඇති නඩුවකින් පාරිභෝගික ආරක්ෂණ පනතත යටතේ කර ඇති යම් යම් නියමයන් පොලිතීන් භාවිතය සහ විශේෂයෙන් ෂොපින් බෑග් භාවිතය අවම කිරීමට මුදලක් අය කර ගැනීමට බාධා වන අයුරෙන් පවතින බව.

"අනතුරුව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නඩු තීන්දුවට අදාළ පාර්ශව කැඳවා එම නඩු තීන්දුවේ පාර්ශවවලට ද අලුත් නඩු තීන්දුවට එකඟ වන ආකාරයෙන් යෝජනා ඉදිරිපත් කළා," ඔහු පැවසීය.

ඒ අනුව, එම යෝජනාවලට එකඟ වී 2024 මාර්තු 28 වන දින පොලිතීන් මලු සඳහා විශේෂ බද්දක් අය කිරීමට පරිසර අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය එක වූ බවට ත් කඩිනමින් ඊට අදාළ පියවර ගන්නා බවටත් අධිකරණයට දැනුම් දුන් බව නීතිඥවරයා සඳහන් කළේ ය.

එසේ වුව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වූ එකඟතාව ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශව අපොහොසත් වීම හේතුවෙන් මෝසමක් මාර්ගයෙන් නැවත එම නඩුව කැඳවූ බව ඔහු පැවසීය.

අනතුරුව නඩුව නැවත ඔක්තෝබර් 1 වන දා අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම්කරුවන් සහ වගඋත්තකරුවෝ නොවැම්බර් මස 1 වන දා සිට බහාලුම් මලු සඳහා මුදලක් අය කර ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට එකඟතාව පළ කළහ.

එම එකඟතාව මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් 1 වන දා නිකුත් කළේ ය.

“සුපිරි වෙළඳසැල්වල එකතු කරලා ‍දෙන බෑග් එක තියෙනවානෙ, අඬු දෙක තියෙන බෑග් අන්න ඒකට තමයි මේක බලපාන්නේ.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුදල් අය කරන ෂොපින් බෑග් වර්ග මොනවා ද?

ගැසට් පත්‍රයේ අඩංගු කරුණු සම්බන්ධව බීබීසි සිංහල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්ගෙන් තවදුරටත් කරුණු විමසා බැලීය.

"සුපිරි වෙළෙඳසල්වල දෙන බෑග් එක තියෙනවානේ, අඬු දෙක තියෙන බෑග් අන්න ඒකට තමයි මේක බලපාන්නේ," ඔහු පැවසීය.

කෙසේ වෙතත් වෙළෙඳසල්වලින් ලබා දෙන අඬු දෙක රහිත කුඩා ෂොපින් බෑග් හෝ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එළවළු සහ පලතුරු ලබා දීමට යොදා ගන්නා අතළු නොමැති බෑග් සඳහා මෙම විධානය අදාළ නොවන බව පාරිභෝගි කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ය.

එමෙන් ම, ඇඳුම් වෙළෙඳසල් වැනි ස්ථානවලින් ලබා දෙන පොලිතීන් මලු සඳහා ද මෙමගින් බලපෑමක් සිදු නොවේ.

මෙසේ නොමිලේ ලබා දීමට තහනම් කෙරුණු මලු සඳහා නිෂ්පාදකයන් මිලක් තීරණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව සලකා බලා ඉදිරි පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.

ෂොපින් බෑග්වල තොග මිල කීය ද?

ඒ අනුව, දැනට වෙළෙඳපොළේ පවතින පොලිතීන් මලුවල මිල සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.

එහිදී නිරීක්ෂණය වූයේ, කිලෝග්‍රෑම් 1ක බර ප්‍රමාණයක් රැගෙන යා හැකි පොලිතීන් මලු බණ්ඩලයක තොග මිල රුපියල් 68 සිට 85 දක්වා අතර පරාසයක පවතින බව ය. කිලෝග්‍රෑම් 2ක බරක් රැගෙන යා හැකි බණ්ඩලයක තොග මිල රුපියල් 120 සිට 180ක් දක්වා මිලකට අලෙවි වේ.

කිලෝග්‍රෑම් 5ක බරක් රැගෙන යා හැකි පොලිතීන් මලු බණ්ඩලයක තොග මිල රුපියල් 240 සිට 300 දක්වා ත් කිලෝග්‍රෑම් 10ක බරක් රැගෙන යා හැකි බණ්ඩලයක මිල රුපියල් 400ත් 500ත් අතර මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ පැවසූහ.

පොලිතීන් මලු 100කින් යුත් බණ්ඩලයක් සඳහා ඉහත මිල ගණන් අදාළ වේ.

කිලෝ 5ක ප්‍රමාණයේ බෑගයක තොග මිල රුපියල් 240 සිට 300 දක්වා වන අතර රුපියල් 400ත් 500ත් අතර මිලකට කිලෝ 10 ප්‍රමාණයේ ෂොපින් බෑග් අලෙවි වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'මුදලාලිට නම් තව කීයක හරි ලාභයක් වෙයි'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මේකෙන් ෂොපින් බෑග් [භාවිතය] අඩු වෙන එකක් නම් නැහැ. හැබැයි ඉතින් මුදලාලිට නම් තව කීයක හරි ලාභයක් වෙයි," යැයි පෞද්ගලික ආයතනයක සේවිකාවක සහ මවක වන නයෝමි (සැබෑ නම නොවේ) බීබීසි සිංහල වෙත පැවසීය.

"අපි වැඩට යද්දි බෑග් කිහිපයක් අරන් යනවා. ඒ එක්ක ගෙදර බඩු ගේන්න තව බෑග් එකකුත් අරන් යන්න වෙන එකයි වෙන්නේ මේ වැඩෙන්. එහෙම ගෙනිච්චත් රෙදි හරි ප්ලාස්ටික් වගේ බෑග් එකක මස්, මාළු ගේන්නේ කොහො ම ද? ඒවා විතරක් නෙමෙයි කරවල ගත්තත් එළවළු එක්ක දාගෙන එන්න බෑනේ. ඒකට ආයේ සල්ලි දීලා ෂොපින් බෑග් එකක් ගන්න වෙනවා," ඇය පැවසුවා ය.

කෙසේ වෙතත්, තවත් පාරිභෝගිකයෙකු මෙම පියවර පැසසූ අතර ඇය පෙන්වා දුන්නේ, පරිසරයට සිදුවන හානිය අවම කිරීමට මෙය උපකාරී වනු ඇති බව ය.

"මේක හොඳ පියවරක්. අපිට පුළුවන් නේ රෙදි මල්ලක් පාවිච්චි කරන්න. ඒකට රජය මිනිස්සුන්ව දිරි ගන්වන්න ඕනේ. මස් මාළු අරගෙන එන්න ප්ලාස්ටික් පෙට්ටියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැවත නැවත යොදා ගන්න පුළුවන් නිසා, අපිට ෂොපින් බෑග් ගැන වද වෙන්න දෙයක් නැහැ. අනික ගෙදර නිකරුනේ බෑග් පිරෙන්නෙත් නැහැ. මේක හොඳ වැඩක්," ඇය පෙන්වා දුන්නා ය.

'වෙළෙන්දන්ට සහනයක්'

මෙම නව නීතිය වෙළෙන්දන්ට යම් සහනයක් ගෙන දෙන්නක් බව තොග සහ සිල්ලර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රියන්ත ලියනගේ බීබීසි සිංහල වෙත පැවසීය.

"ලොකු පිරිවැයක් දරනවා ෂොපින්වලට. ඒක පේන පිරිවැයක් නෙමෙයි. ඒක හැංගිච්ච පිරිවැයක්. ඒක නිසා මේ තීරණයෙන් ව්‍යාපාරිකයාට වාසියක් වෙනවා,ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ පාලන මිලක් පවතින ඇතැම් භාණ්ඩ සඳහා එම මිල ඉක්මවා විකණීමට වෙළෙඳුන් පොලිතීන් මලු යොදා ගත හැකි බවට ඔහු අනතුරු ඇඟවූවේ ය.

'දාන මිල අනුව තමයි මේක තීරණය වෙන්නේ' - ආචාර්ය අජන්තා පෙරේරා

පොලිතීන් බහාලුම් මලු නොමිලේ ලබා දීම තහනම් කිරීම අගය කරන පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවේ, මීට පෙර ද මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ගිය අවස්ථාවේදී බෑග් නිෂ්පාදකයන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එය නතර කළ බව ය.

කෙසේ වෙතත්, මෙය සාර්ථක කර ගැනීමට බහාලුම් මල්ලකට තරමක ඉහළ මිලක් නියම කළ යුතු බව ඇය බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

"මම විශ්වාස කරනවා යම් ප්‍රමාණයකින්, හැමදෙයක් ම රඳා පවතින්නේ බෑග් එකට ගන්න මිල මතයි. බෑග් එකට රුපියල් 10ක් නම් ගන්නේ නැතිනම් රුපියල් 5ක් නම් ඒක මිල දී ගැනීම අඩු වෙන්න තියෙන ප්‍රවණතාව හුඟක් අඩුයි. හැබැයි බෑග් එක රු. 50 වගේ කළොත් එතකොට මුදල් පසුම්බියට දැනෙන් දෙයක් නේ, එතකොට මිල දී ගැනීම අඩු වෙන්නෙ ඕනේ. දාන මිල අනුව තමයි මේක තීරණය වෙන්නේ."

ෂොපින් බෑග් භාවිතය නවතන්න තවත් විකල්ප විසඳුමක්

මස්-මාළු වැනි ආහාර ද්‍රව්‍ය මිලට ගන්නා විට භාජනයක් භාවිත කිරීමෙන් ෂොපින් බෑග් භාවිතය තවදුරටත් අවම කර ගත හැකි බව ද ආචාර්යවරිය පෙන්වා දුන්නා ය.

"අයිස් ක්‍රීම් පෙට්ටියක් වගේ ගෙනිච්චොත් මාළු ටික ඕකට දාගෙන එන්න පුළුවන්නේ. ඒක දියර එළියට ආවොත් නේ ගැටලුව. ඒක නවත්ත ගන්න කන්ටේනර් එකක් ගෙනියන්න කියලා අපි ඒ කාලේ ඉඳලා කිව්වා. හැබැයි මිනිස්සු ඒ වගේ දේවල් කරන්නේ නැහැ," යැයි ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය.