වසර 9කට පසු UN මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඇයි?

වොල්කර්
ඡායාරූප ශීර්ෂ වැකිය, මහ කොමසාරිස්වරයා වින්දිතයින්ගේ දුක් ගැනවිලිවලට සවන් දෙමින්...
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් නිල සංචාරයක් වෙනුවෙන් ජූනි 23 වන දා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

2016 වසරේ පෙබරවාරි 06 වන දා සයිඩ් රාද් අල්-හුසේන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 9කට පසුව ය.

ශ්‍රී ලංකාවට ආවේ ඇයි?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණියේ කුමක් සඳහා ද යන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැහැදිලි කර තිබේ.

ඒ අනුව, ඔහු මෙම සංචාරයේදී මානව හිමිකම් උල්ලංඝණයන්ට ගොදුරු වූවන් සඳහා වගවීම සහ ඵලදායී පිළියම් මෙන් ම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ඇතුළු පුළුල් පරාසයක මානව හිමිකම් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

ආර්ථික අර්බුදය නිසා මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුවූ බලපෑම් සහ සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව ද ඔහු මෙහිදී සාකච්ඡා කරනු ඇත.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, ලංකාවට පැමිණි UN මානව හිමිකම් මහ කොමසාරිස්ට ජනතාව සහ දේශපාලනඥයින් කිවුවේ මොනවා ද?

හමුවන්නේ කවුරුන් ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුව ජූනි 23 වන දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන් ම ආයතනික වෙනස්කම් සමග නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරකෂා කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බව ය.

Harini

ඡායාරූප මූලාශ්‍රය, Prime Minister's Media

ඊට අමතරව, වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු වී සාකච්ඡා කළේ ය.

Vijitha Volker

ඡායාරූප මූලාශ්‍රය, MFA - Sri Lanka

පසුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡා කළේ ය.

එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තහවුරු කිරීම සඳහා මහ කොමසාරිස්වරයා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.

එම යෝජනා වන්නේ, රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම, ජනතාවගේ හඬ යටපත් කරන පනත් සංශෝධනය කිරීම, නිදහස් මාධ්‍ය නියාමනයට ඉඩ නොදීම, ජීවත් විමේ අයිතිය, අධ්‍යාපන, සෞඛ්‍ය සම්පන්න මෙන් ම ශක්ති සම්පන්න ජන ජීවිතයක් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම ය.

Volker

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook

අද සහ හෙට සිදුවන්නේ කුමක් ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් අද (ජූනි 25) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත විය.

එහිදී, ත්‍රිකුණාමලය නගරයේදී මානව හිමිකම් වින්දිතයින් පිරිසක් ඔහු හමුවීමට පැමිණ සිටි අතර, මහ කොමසාරිස්වරයා ඔවුන් සමග කතාබහ කළේ ය.

ඉඩම් අත්පත් කර ගැනීම් නතර කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් කරුණු සෙවීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම ආදී ඉල්ලීම් රැසක් වෙනුවෙන් වින්දිතයෝ රැස්ව සිටියහ.

ඔවුන් සිය ඉල්ලීම් සඳහන් කළ පුවරු ඔසවාගෙන සිටින අයුරු දැකගත හැකි විය.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයාගේ නියෝජිත ජෙරමි ලෝරන්ස් පැවසුවේ, "මහ කොමසාරිස්වරයා වින්දිතයින්ගේ ගැටලු පිළිබඳව අවධානයක් යොමු කළ" බව ය.

ත්‍රිකුණාමලය සංචාරයෙන් පසුව ඔහු යාපනයේ සංචාරයක නිරත වන අතර, පසු මහනුවර සංචාරය කිරීමට නියමිත ය.

හෙට (ජූනි 26) වන දා ඔහුගේ නිල සංචාරය අවසන් වන අතර, සංචාරය පිළිබඳ තොරතුරු පැහැදිලි කිරීම සඳහා පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.