ජෙනින්හි වැටලීම්: 'අවුරුදු දෙකකට කලින් තුවක්කුකරුවො දුසිම් ගාණයි හිටියෙ - දැන් සියගාණක් ඉන්නවා'

ඡායාරූප මූලාශ්‍රය, EPA
දෙවසරකට පෙර අපි ජෙනින් නගරයට පැමිණි අවස්ථාවේ දී එහි සිටියේ කණ්ඩායම් වශයෙන් සිටි පලස්තීන තුවක්කුකරුවන් දුසිම් කීපයකි. දැන් ඔවුන් සිය ගණනක් සිටියි.
බටහිර ඉවුරේ ඊශ්‍රායල ආරක්ෂක පියවරවලට එරෙහි ප්‍රතිරෝධය වේගයෙන් වර්ධනයවී ඇත.
අපි, ඊශ්‍රායලය බටහිර ඉවුර නගරයේ තීව්‍ර වැටලීම් ආරම්භ කිරීමෙන් පැය කිහිපයකට පසු එම සිදුවීම් රූගත කිරීමේ උත්සාහයක නිරතවෙමින්, ජෙනින් වෙත දිවෙන මාර්ගයේ ඊශ්‍රායල මුරපොළෙන් මුරපොළ පසුකරමින් ගමන් කළෙමු. පලස්තීන ජාතිකයින් කීපදෙනෙකුම මියගොස්, තවත් බොහෝදෙනෙකුට තුවාල සිදුවී තිබේ.
වසර ගණනාවකින් මෙම ප්‍රදේශයට එල්ලවූ දරුණුතම බෝම්බ ප්‍රහාරයෙන් පසු, වහලවල්වලට උඩින් දුම්රොටු නගිනු අපට දැකගත හැකිවිය.
එය ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයකි.

මින් ගැලවීමට එකම මාර්ගය නම් සටන් වැදීමබව දැන් තව තවත් පලස්තීනුවෝ විශ්වාස කරති. සටන් නොවැදුණහොත් අනාගතයේ දී කිසිවක් ඉතිරි නොවනු ඇතැ යි ඔවුන් සිතයි.
දැනට, ඔවුනට නල ජලය හෝ අපවහන පද්ධතියක් නැති අතර, තත්ත්වය තවත් දරුණු වනු ඇතැ යි සිතෙයි.
ජෙනින් සටනේ මතකයන්
අප ජෙනින් සරණාගත කඳවුරට ගිය විට, අපට එහි එක් පදිංචිකරුවෙකු වන අහමඩ් ජරාදැට් හමුවිය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එහි වෙසෙන්නන් 2002 වසරෙන් පසු එවැනි ක්‍රියාවක් දැක නැතැ යි ඔහු අපට පැවසීය. 2002 දී ඊශ්‍රායලය 'ජෙනින් සටන' ලෙස ප්‍රසිද්ධ වූ මහා පරිමාණ මෙහෙයුමක් දියත් කළේ ය.
මාගේ සගයා වන වාර්තාකාරිණී ඉමාන් එරිකත්, නගරයට ඉහළින් ඩ්‍රෝන පියාසර කරනු ඇසේයැ යි පැවසුවා ය. දෙවැනි ඉන්ටිෆාඩාව (කැරැල්ල) සමයේ සිදුකෙරුණු ජෙනින් සටනේ දී පලස්තීනුවන්ට මුහුණදීමට සිදුවූ "අඳුරු දිනයන්", මේ ගුවන් ප්‍රහාර හා ගිනිඅවි සටන් මඟින් ඔවුනට නැවතත් සිහිපත් කරවනබව ඇය පවසයි.
ජෙනින්හි දී සතියකට වැඩි කලක් සිදුවූ සටන්වලින් පලස්තීන ජාතිකයින් 50කට වැඩි පිරිසකුත්, ඊශ්‍රායල භටයින් 23 දෙනෙකුත් මරණයට පත්විය. මෙය, ඊශ්‍රායලය තුළ පලස්තීන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට හේතුවූ අතර, ඒවායින් බොහොමයක් සිදුකළේ මේ නගරයේ වැසියන් ය.
"සටන්කාරයො පෙරේදයින් පස්සෙ නිදාගෙන නෑ. වෙඩි තියන එක, පිපිරෙන එක නැවතුණේ නැහැ,"යි පවසන ඔහු, ඊශ්‍රායල ජාතිකයින් කඳවුරේ යටිතල පහසුකම් විනාශකර දමන්නට තැත් කරන්නේයැ යි චෝදනා කරයි.
ඉන් ඔබ්බට යන ජෙනින්හි නගරාධිපති නිදාල් අල් එබාදි, [ඊශ්‍රායල] හමුදාව සරණාගත කඳවුර විනාශකර දැමීමට අරමුණු කරන්නේයැ යි මාධ්‍යවේදීන්ට කියයි.
ඊශ්‍රායලයේ ලිකූද් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩැනී ඩැනන්, සිවිල් වැසියන් ඉලක්කවී ඇතැ යි යන්න ප්‍රතික්ෂේප කරයි. ඔහු බීබීසීයට මෙසේ පැවසීය: "අපි දැන් පැය කීපයක් තිස්සෙ ජෙනින්වල මෙහෙයුමක් දියත් කරනවා. ඔයාල දැක්කනෙ, අපි සිවිල් වැසියන්ට ටෙක්ස්ට් මැසේජුත් යවලා කිව්වා එයාලගෙ ගෙවල්වලින් එළියට බහින්න එපා, අපි ඉලක්ක කරන්නෙ සටන්කාමීන් විතරයි කියලා."
පලස්තීන වෛද්‍ය කණ්ඩායම්, තුවාල ලැබූවන් සරණාගත කඳවුරේ සිට රෝහල් වෙත ගෙනයෑමට හැකිවන පරිදි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරාමයක් තබන්නැ යි ඉල්ලා තිබේ.
තරුණ පලස්තීනුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊශ්‍රායලය විසින් එය යටතේ පවතින බටහිර ඉවුරේ ජනාවාස සැදීම නවතා දැමිය යුතුයැ යි පලස්තීනුවෝ උදක්ම කියා සිටිති.
ජනාවාස ගොඩනැගීම හා හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙද්දී, බොහෝ තරුණ පලස්තීනුවන්ගේ ඊශ්‍රායල විරෝධය ඔවුන්ගේ මාපිය පරම්පරාවේ විරෝධය ඉක්මවා යයි.
'නැෂනල් ඉනිෂියෙටිව් පාටි' නම් පක්ෂයට නායකත්වය දෙන මුස්තෆා බර්ගූති බීබීසී නිව්ස්ඩේ වෙත පැවසූ පරිදි, පවතින දේශපාලන වාතාවරණයත් සමග පලස්තීනුවන් වැඩි වැඩියෙන් බලාපොරොත්තු සුන්වීමට පත්වෙමින් සිටියි.
"ලොකුම ප්‍රශ්නෙ තමයි, ඇයි මේ තරුණ ජනතාව ඒ දිශාවට හැරෙන්නේ කියන එක," ඔහු පැවසීය. "ඒ මොකද කියනවා නම්, අපි [ඊශ්‍රායල] හමුදා අත්පත්කර ගැනීම යටතේ අවුරුදු 56ක් හිටියා. මේ අල්ලාගැනීම අවසන් කරන්න ලෝකය කිසිම දෙයක් කරලා නැහැ... මේ තරුණ ජනතාව බලාපොරොත්තු සුන්වීමට පත්වෙමින් ඉන්නවා, මොකද ඊශ්‍රායලයට මේ අල්ලාගැනීම දිගටම කරගෙන යන්න ඉඩදීපු ලෝක ප්‍රජාව නිසා."
ඊශ්‍රායල වැටලීම්

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජුලි 2 රාත්‍රියේ සිට ඊශ්‍රායල හමුදාවන් ගුවනේ සිට හා ගොඩබිම් මෙහෙයුම් හරහා ජෙනින් සරණාගත කඳවුරට පහරදෙමින් සිටියේ ය.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය වන UNRWA පවසන්නේ, එය වර්ග කිලෝමීටර 0.42ක් විශාල, වැසියන් 14 000කට නිවහන වන ස්ථානයක්බව යි.
ඔවුන් දැන් ගුවන් හා ගොඩබිම් ප්‍රහාරයන්ට මැදිවී සිටියි.
ඊශ්‍රායලය ඉලක්ක කරන්නේ, ඔවුන්ගේ වැසියන්ට පහරදුන් පලස්තීන සටන්කාමීන්බව ඊශ්‍රායලය පවසයි.
නොයෙක් පලස්තීන සන්නද්ධ කණ්ඩායම්හි සටන්කරුවන්ගෙන් සමන්විත ඒකකයක් වන 'ජෙනින් බලකායේ' අණදෙන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන "ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයකට" පහර දුන්බව, ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
එය "දියුණු නිරීක්ෂණ සහ පෙරික්සුම් මධ්‍යස්ථානයක්" ලෙස මෙන්ම ආයුධ හා පුපුරණ සහිත ස්ථානයක් ලෙස ද, පලස්තීන සටන්කාමීන්ගේ සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මකවූබව එහි සඳහන් ය.

පසුගිය වසරේ දී දිගින් දිගටම ඊශ්‍රායල වැටලීම්වලට මුහුණදෙන්නට ජෙනින් නගරයට සිදුවිය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් විසින්, ඊශ්‍රායල වැසියන් එල්ලකොට සිදුකෙරුණු වෙඩි තැබීම් කීපයක් හා ජෙනින්හි පලස්තීනුවන් එකිනෙකට සම්බන්ධකර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි මාධ්‍ය ප්‍රකාශක මාජ් නිර් ඩිනා මාධ්‍යවේදීන්ට පැවසූයේ, ත්‍රස්තවාදීන් සඳහා ජෙනින් ආරක්ෂක නිවාසයක් වැනිබවකි.
"සති කීපෙකට කලින්, ජෙනින් ඉඳන් ඊශ්‍රායලයට රොකට් එකක් යවන්න සූදානමක් තිබුණා. ඒක අසාර්ථක වෙලා බටහිර ඉවුරට වැටුණා," ඔහු පැවසීය. "මේක යම් විධියක සංසිද්ධියක් වෙයි කියලා අපි කණස්සල්ලෙන් ඉන්නේ."
පලස්තීන සටන්කාමීන්

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජෙනින්හි විවිධ කණ්ඩායම් විසින් ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රතිරෝධය දැක්වීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ප්‍රකාශකර තිබේ.
ජෙනින්හි ෆටා දේශපාලනය ව්‍යාපාරයේ ලේකම් වන අතා අබු රමේලි බීබීසීයට පැවසුවේ, සරණාගත කඳවුර තුළ සිටින සියලුම කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවන්ගෙන් සරණාගත කඳවුර රැකගැනීමට සූදානම්ව සිටිනබව යි.
සටන්කාමීන් යටත්වීමේ සුදු කොඩි ඔසවනු නැතිබවත්, දිගටම සටන් වැදෙනු ඇතිබවත් ඔහු පැවසුවේ ය.
නොයෙක් කණ්ඩායම්වලට අයත් සටන්කාමීහු රැසක් නගරය තුළ දී එක්සත්ව, තමා 'ජෙනින් බලකාය' ලෙස හඳුන්වාගනිති. ඔවුන් එක්සත්කර තිබෙන්නේ [ඊශ්‍රායල] අල්ලාගැනීමට එරෙහි විරෝධය දැක්වීමේ අධිෂ්ඨානය සහ, ඔවුන් වෙනුවෙන් එය සිදුකිරීමට පලස්තීන අධිකාරියට හැකියාවක් ඇතැ යි යන්න ගැන පවතින අවිශ්වාසය යි.
ජෙනින් බලකායේ සටන්කාමියෙකු ටෙලිග්‍රෑම් සමූහයකට හඬ පණිවුඩයක් යවමින්, සටන්කාමීන්ගේ චිත්ත ධෛර්යය ඉතා ඉහළබවත්, මියෙනතෙක් සටන් කරනබවත් පවසා තිබුණි.
නගරයෙන් පිටත දී, නබ්ලූස් පාදකකර ගත් 'ලයන්ස් ඩෙන්' නම් සන්නද්ධ කණ්ඩායම ඔවුනට සහයෝගය පළකළ අතර, ජෙනින් වෙත සහයෝගය දැක්වීමට පෙළ ගැසෙන ලෙස පලස්තීනුවන්ගෙන් ඉල්ලා සිටිමින්, ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි සටනට සම්බන්ධවීම සඳහා පෙරදින එහි සාමාජිකයින් පිරිසක් ජෙනින් වෙත පැමිණිබව ප්‍රකාශ කළේ ය.













