විල්පත්තු 'වන විනාශය': රිෂාඩ් බදියුදීන්ට එරෙහි පෙත්සම වසර 7කට පසු නිෂ්ප්‍රභ කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Google Maps
- Author, බීබීසී සිංහල
විල්පත්තු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කර එහි අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීම නීති විරෝධී බවත්, එවැනි නීති විරෝධී නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.
මේ වන විට නීතිඥභාවය ඉවත් කර තිබෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් මේ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
මේ පෙත්සමෙහි සඳහන් කර තිබුණේ, විල්පත්තු වනාන්තර කලාපය රක්ෂිත වනාන්තරයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව ය.
එසේ තිබියදී මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එම රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කර අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීමට කටයුතු කළ බවත් එම පෙත්සම තුළින් චෝදනා කර තිබිණි.
මෙසේ ජනතාව යළි පදිංචි කළ ප්‍රදේශ මීට පෙර ජනාවාස වශයෙන් පැවති ප්‍රදේශය යැයි වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද, එය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවත් පෙත්සමේ සඳහන් කර තිබිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදන සහ මිනුම් දෙපාර්තමේන්තුවේ සිතියම්වලට අනුව හෙළි පෙහෙළි කර නැවත පදිංචි කිරීම් කළ වනාන්තර ප්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස දීර්ඝ කාලයක් පැවති බව පෙත්සම තුළින් අවධාරණය කර ඇත.
එසේ තිබියදී අනීතික ආකාරයෙන් රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කර අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමට රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක රජයේ බලධාරීන් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, එවැනි නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
බදාදා අභියාචනාධිකරණයේදී සිදුවූ දේ
මෙම පෙත්සමට අදාළ නඩුව ඊයේ (ඔක්: 15) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය.
එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට දැඩි විරෝධය පළ කළේ ය.
එම නීතිඥවරයා සඳහන් කළේ, මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශවය දිනෙන් දින කල් ගනිමින් සිටින බවත්, මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමකින් තොරව එය කල් දැමීමට කරනු ලබන ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බවත් ය.
එම විරෝධතාව පිළිගත් අධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.
'මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට පෙත්සම්කරුවන් උත්සහ කරනවා' - රිෂාඩ් බදියුදීන්ගේ නීතිඥ
මේ අතර, රිෂාඩ් බදියුදීන්ගේ මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ, 'පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා මහතා කියා සිටියේ නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි. පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි' බව ය.
'උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අධිකරණයේ නියෝග කිහිපයක් නොතකා, අවසන් කිරීම ප්‍රමාද වී තිබුණු,' බව ද එම නිවේදනයේ සඳහන් කර තිබිණි.
'නඩුකරයට අදාළ ලේඛන ආයෙත් ගොනු කරනවා' - නාගානන්ද කොඩිතුවක්කු
මේ පිළිබඳව අදාළ පෙත්සමේ පෙත්සම්කරුවෙකු වන නාගානන්ද කොඩිතුවක්කුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,
"මේ නඩුකරයේ මා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ඇයගේ කනිෂ්ඨ නීතිඥවරිය අධිකරණයේ පෙනී සිට තිබෙනවා. එසේ පෙනී සිට ඇයගේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරිය අසනීපෙන් පසුවීම නිසා නඩුවට කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් එම ඉල්ලීමට වගඋත්තර කාර පාර්ශවය දැඩි විරෝධය පළ කිරීම නිසා අධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, අපි මේ නඩුකරයට අදාළ ලේඛන ආයෙත් ගොනු කරලා එම නඩුව ඉදිරියේදී අධිකරණය හමුවේ කැඳවන්න උත්සහ කරනවා," යනුවෙනි.
2018 වසරේ ගොනු කළ පෙත්සම
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර ඇතැයි පැවසෙන "අනවසර ජනාවාස" ඉවත් කොට එම ඉඩම් යළි රජයට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ එම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේ, 2018 වසරේ පෙබරවාරි මාසයේදී ය.
අදාළ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ, එවකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශව කිහිපයකි.













