"ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි"

වීඩියෝ ශීර්ෂ වැකිය, වන විනාශය වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්මක්

ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000 ක් සෑම වසරක් ඇතුළත විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති.

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7% ක් වූ වන ආවරණය 2022 වනවිට 32% ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ.

එම අරමුණ ඉටුකිරීමට නම් අදාළ කාලපරිච්ඡේදය තුළ හෙක්ටෙයාර් 150,650 ක වන බිම් ප්‍රමාණයක් ඇති කළ යුතු බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

පරිසර සංවිධාන අඟහරුවාදා (මැයි 09) එම අදහස් පළ කළේ, අදාළ ඉලක්කය ඉටු කරගැනීම පිණිස සකස් කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් ආණ්ඩුව වෙත ලබාදීමේ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

line
line

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් සංවිධාන එක් වී එම ක්‍රියාකාරී සැළැස්ම සකස් කොට තිබේ.

'මහා පරිමාණ ව්‍යාපෘති'

වන විනාශය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී හේමන්ත විතානගේ "මේ වනාන්තර වටේ ඉන්න පුංචි මිනිස්සු හේනක් කොටාගෙන ජීවත් වෙන එක තමයි වනාන්තරවලට තියෙන ලොකුම තර්ජනය කියල මුල් කාලෙදි අපි දුටුවේ,"යනුවෙන් සඳහන් කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශයට ප්‍රධානම හේතුව එය නොවන බව නව වැඩසටහන වෙනුවෙන් ක්‍රියාකිරීමේදී දැනගැනීමට ලැබුන බවත් ඔහු පැවසීය.

"අවුරුද්දකට විනාශවන හෙක්ටයාර 8000 න් බහුතරයක් විනාශ වෙන්නේ සංවර්ධන වැඩසටහන්වලට, විශේෂයෙන් වාර්මාර්ග සකස් කිරීමේදී. ඊළඟට වගා සඳහා මහා පරිමාණ හෙළිකිරීම්. ඒ වගේම නැවත පදිංචි කිරීම සඳහා හෙළිකිරීම්. ඊළඟට සාමාන්‍ය ජනතාව කරන හෙළිකිරීම්," හේමන්ත විතානගේ වැඩිදුරටත් පැහැදිලි කළේය.

එහිදී අදහස් දැක්වූ වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, වනාන්තර ප්‍රමාණය 1%කින් වැඩිකිරීම යනු හෙක්ටයාර 65,000 ක් අලුතින් වනාන්තර එකතුවීම බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා දැනට භාවිතයට ගෙන නොමැති මුඩු ඉඩම් සංවර්ධනය කරමින් සිය ඉලක්කය සපුරාගත හැකි බව වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

'ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීම'

සංවර්ධන ව්‍යාපෘති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වන ආවරණය වැඩිකිරීම සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැගීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනක් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා රජයෙන් 40% ක් සහ විදේශවලින් ලැබෙන ආධාර 60% ක් යොදාගැනීමට නියමිත බවත් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.

line
line

එමෙන්ම වනාන්තර ආශ්‍රිත නීති ක්‍රියාත්මක කිරීම මඟින් දැනට වසරකට විනාශවන හෙක්ටයාර 8,000ක ප්‍රමාණය, 36% ක ප්‍රමාණයකින් අඩුකර ගැනීම අපේක්ෂා කෙරෙන අතර හායනයට (ක්ෂය වී යෑම) ලක්වූ වනාන්තර හා වන ජීවී පද්ධති ප්‍රතිස්ථාපනය මගින් හෙක්ටයාර හතළිස් දහසක භූමි ප්‍රමාණයක් වනාන්තර පද්ධතියට එකතු කිරීමද මෙම වැඩසටහනේ එක් අරමුණකි.

වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, අම්පාර හා පුත්තලම හඳුනාගෙන තිබෙන අතර අලුතෙන් ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාව හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.