ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ්

Jonston

කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලේ තිබී මෙරට එකලස් කරන ලද බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (ඔක්තෝබර් 23 වැනිදා) පෙරවරුවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටියේ ය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ කටයුතු කළහ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

මේ අතර, වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද දින (ඔක්: 23) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ ය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටිය ද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් නඩුකරයකට අදාළව ඊයේ (ඔක්. 22) දින ලබා දුන් ප්‍රතිඥාවකට අනුව තම සේවා දායකයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන් කළේ ය.

'නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට යන්නේ කෙසේ ද?'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකරු නඩුවට නොපැමිණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට යන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේ ය.

විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වාලමින් කිසිදු ආකාරයක නියෝගයක් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර නොමැති බව පෙනී යන බවත් විනිසුරුවරයා පැවසීය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විත්තිකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේ ය.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 27 වන දා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කළේ ය.

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔක්තෝබර් 23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් ඊයේ (ඔක්තෝබර් 22 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 22 වන දා කැඳවනු ලැබිණි.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඔක්තෝබර් 23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ය.

මෙම පෙත්සම ඔක්තෝබර් 22 වන දා මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ගරාජ් අංක තහඩුවක් සහිත BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තම සේවාදායකයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව පොලිසිය විසින් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බවත් ඒ තුළින් අදාළ වාහනයේ හිමිකාරීත්වය පිළිබඳව සංකීර්ණ තත්ත්වයක් ඇතිව තිබෙන බවත් නීතිඥවරයා පැවසීය.

අදාළ මෝටර් රථය පිළිබඳව එකිනෙකට පරස්පර කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවා දායකයා සැකකරුවකු වශයෙන් නම් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් යැයි පෙන්වා දුන් නීතිඥවරයා තම සේවා දායකයා පරීක්ෂණ කටයුතුවලට සහාය දීමට සූදානම් බවත් සඳහන් කළේය.

එහෙත් සාධාරණ නීතිමය පදනමක් නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින හෙයින් මෙම අයදුම් පත අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ බවත් නීතිඥ අමිල පල්ලියගේ පැවසීය.

පෙත්සම්කරු මෙම වාහනය භාවිතා කර තිබේ ද ?

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පෙත්සම්කරු විසින් මෙම වාහනය භාවිත කර තිබේ දැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් නීතිඥවරයා සඳහන් කළේ තම සේවා දායකයා පසුගිය මැතිවරණ සමයේ මෙම වාහනය භාවිත කර තිබෙන බවට උපදෙස් ලැබී ඇති බව ය.

"ගරාජ් අංක තහඩුවක්" සහිත වාහනයක් භාවිතා කරන්නේ කෙසේදැයි මෙහිදී විනිසුරුවරු විවෘත අධිකරණයේ ප්‍රශ්න කර සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හිරංජන් පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙත්සම්කරු මේ දක්වා පොලිසියට ප්‍රකාශයක් ලබා දී නොමැති බවත් සඳහන් කළේය.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

ඔහු වරදක් කර තිබෙනවා ද? එසේ නැත්නම් නිර්දෝෂී පුද්ගලයෙක් ද යන්න පොලිසියට තීන්දු කළ හැක්කේ ඔහු ප්‍රකාශයක් ලබා දුන්නොත් පමණක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ප්‍රකාශයක් ලබා දීමකින් තොරව මෙවැනි ඉල්ලීමක් සලකා බැලීමට අපහසු බවත් විවෘත අධිකරණයේ සඳහන් කළේය.

එම නිසා පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදී ඉන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සුදුසු බවත් මෙහිදී විනිසුරුවරු පෙන්වා දුන්නා.

මෙහිදී පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවා දායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවට පොරොන්දුවක් ලබා දෙන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම යළිත් ලබන 25 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේ ය.