හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

Jonston Fernando/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Jonston Fernando/Facebook

පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය බදාදා (ඔක්තෝබර් 17) නියෝග ක‍ළේ ය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය යි.

නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් මුදා හරින බව විනිසුරුවරිය නියෝගය නිකුත් කරමින් පැවසීය.

පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූණි.

ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ ලක් සතොස ආයතනයෙන් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මුදල් නොගෙවා ලබා ගැනීම සම්බන්ධයෙනි.

සබැඳි පුවත්:

BBC

අත්අඩංගුවට ගැනීම

  • අදාළ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ලැබුවේ, 2015 වසරේ මැයි මස 5 වෙනිදා ය.
  • ඉන්පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍යවරයා 2015 වසරේ මැයි 28 වන දා වයඹ පළාත්බද මහාධිකරණය විසින් ඇපමත මුදා හැරිණ. ඒ, රුපියල් 25,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප තුනක් මතය. ඔහුගේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ අදාළ මුදල ගෙවා ඇති බව ය.
  • ඇප මත සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට 2018 සැප්තැම්බර් 3 වෙනි දා අධිකරණය නියෝග කළේ ය.
  • මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට 2018 සැප්තැම්බර් 3 වෙනි දා තීරණය විය.