මිනිස් මොළය කා දමන ඇමීබාවෙකු ඉන්දියාවේ

A boy swimming in a pond in Kerala

ඡායාරූප මූලාශ්‍රය, Vivek R Nair

ඡායාරූප ශීර්ෂ වැකිය, මොළය භක්ෂණය කරන මෙම ඒක සෛලික ඇමීබා පිහිනීමේදී නාසයට ඇතුළු විය හැකි ය
    • Author, සූතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවැත්වෙන වඩාත් ම ප්‍රීතිමත් උත්සවය වන ඕනම් උත්සවයට පෙර දින, 45 හැවිරිදි සෝභනා ඇගේ පවුල් සාමාජිකයින් විසින් කඩිනමින් රෝහල්ගත කිරීමට රැගෙන යමින් සිටි මොහොතේ ඇය සිටියේ ගිලන් රථයක පිටුපස වෙව්ලමින්, සිහිසුන් තත්ත්වයට පත් වෙමිනි.

මලප්පුරම් ප්‍රදේශයේ ගමක පලතුරු යුෂ බෝතල් කිරීමෙන් තම ජීවිකාව උපයා ගත් දාලිත් (මීට පෙර ස්පර්ශය පවා තහනම් වූ පිරිස ලෙස හැඳින් විය) කාන්තාවක වන ඇය මීට දින කිහිපයකට පෙර, කරකැවිල්ල සහ අධිරුධිර පීඩනය හැර වෙනත් බිය උපදවන දෙයක් ගැන පවසා නොතිබිණි. වෛද්‍යවරු ඇයට ඖෂධ නියම කර යළි නිවස වෙත යැවූහ. නමුත් ඇගේ තත්ත්වය ඉතා වේගයකින් දුර්වල වන්නට විය. පැවති අපහසුතාව උණට මග පෑදීය. උණ, දරුණු වෙව්ලීමකට මග පෑදීය. සැප්තැම්බර් 5 වන දින එනම්, උත්සවයේ ප්‍රධාන දින සෝභනා මිය ගියා ය.

මරණයට වගකිව යුත්තා වූයේ නේග්ලේරියා ෆවුලරි (Naegleria fowleri) ය. මොළය භක්ෂණය කරන ඇමීබා ලෙස පොදුවේ හඳුන්වන මෙය සාමාන්‍යයෙන් මිරිදිය ජලයේදී නාසය හරහා ආසාදනය වේ. එය කොතෙක් දුර්වල ද යත් බොහෝ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ මුළු වෘත්තීය ජීවිතය තුළ ම එවැනි ආසාදන තත්ත්වයක් හමු නොවේ.

මෙම වසරේ කේරළයේ මොළය භක්ෂණය කරන ඇමීබා ආසාදනය වූ පුද්ගලයින් 70කට වැඩි පිරිසක් හඳුනා ගැනුණු අතර 19 දෙනෙකු මිය ගොස් තිබේ.

සාමාන්‍යයෙන් උණුසුම් මිරිදිය ජලයේ සිටිමින් බැක්ටීරියා ආහාරයට ගන්නා මෙම ඒක සෛලික ජීවියා ප්‍රාථමික ඇමීබික් මෙනින්ගෝඑන්සෙෆලයිටිස් (PAM) ලෙස හඳුන්වන මොළයේ මාරාන්තික ආසාදනයක් ඇති කරයි. එය පිහිනීමේදී නාසය හරහා ඇතුළු වී මොළයේ පටක වේගයෙන් විනාශ කරයි.

කේරළයේ රෝගීන් වාර්තා වීම ඇරඹුණේ 2016 වසරේදී වන අතර, වසරකට ආසාදන එකක් හෝ දෙකක් පමණ වාර්තා විය. මෑතක් වන තුරු ම ඒවා සියල්ල ම පාහේ මාරාන්තික විය. 1962 සිට ලොව පුරා රෝගීන් 488ක් පමණක් වාර්තා වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය, පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලනි. ආසදිතයින්ගෙන් 95%ක් ම රෝගයෙන් මිය ගොස් ඇත.

Naegleria fowleri is an amoeba (one-celled living organism) that lives in soil and warm freshwater, such as lakes, rivers, and hot springs. It is commonly called the brain-eating amoeba because it can cause brain infection when water containing the amoeba rises in the nose. Only about three people in the United States are infected each year, but these infections are usually fatal. (Photo by: CDC/IMAGE POINT FR/BSIP/Universal Images Group via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Universal Images Group via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොළය භක්ෂණය කරන ඇමීබා හෙවත් නේග්ලේරියා ෆවුලරි, විල්, ගංගා සහ උණු දිය උල්පත්වල ජීවත් වෙති

නමුත් කේරළයේ අසාදනයෙන් දිවි ගලවා ගන්නා පුද්ගල සංඛ්‍යාව ඉහළ යන බවක් පෙනේ: පසුගිය වසරේදී රෝගීන් 39 දෙනෙකු වාර්තා වුණු අතර මරණ අනුපාතය සටහන් වූයේ 23% ලෙස ය. මෙම වසරේ රෝගීන් 70කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණු අතර මරණ අනුපාතය 24.5%ක් පමණ විය. අතිනවීන රසායනාගාරවලට ස්තූතිවන්ත වන්නට, ආසාදන පෙරට සාපේක්ෂව වඩා හොඳින් හඳුනා ගැනෙන බව වෛද්‍යවරු පවසති.

"රෝගීන් වාර්තා වීම වැඩි වෙනවා. නමුත් මරණ අඩු වෙමින් පවතිනවා. පරීක්ෂණ ඉතා හොඳින් සිද්ධ වීම සහ මුල් අවධියේදී ම රෝග විනිශ්චය කර ගැනීමට හැකි වීම රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරලා තියෙනවා. ඒක කේරළයට අනන්‍ය වූ උපාය මාර්ගයක්," ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්තපුරම්හි වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ බෝ වන රෝග පිළිබඳ ප්‍රධානී අරවින්ද් රෙගුකුමාර් පැවසීය. රෝගය කලින් හඳුනා ගැනීම මගින් අභිරුචිකරණය කළ ප්‍රතිකාර සඳහා ඉඩ සැලසේ: එනම් ඇමීබා ඉලක්ක කරගත් ක්ෂුද්‍ර ජීවී නාශක සහ ස්ටෙරොයිඩ් ඖෂධ සංකලනයෙන් ජීවිත බේරා ගැනීමට ඉඩ සැලසේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විද්‍යාඥයින් විසින් පරිසරයේ නිදහසේ ජීවත් වන ඇමීබා විශේෂ 400ක් පමණ හඳුනා ගනු ලැබ ඇතත්, මිනිසුන් තුළ රෝග ඇති කරන බවට හඳුනා ගෙන ඇත්තේ නේග්ලේරියා ෆවුලරි සහ ඇකන්තමීබා වැනි මොළයට ආසාදනය විය හැකි විශේෂ හයක් පමණි. කේරළයේ මහජන සෞඛ්‍ය රසායනාගාරවලට දැන් ප්‍රධාන රෝගකාරක වර්ග පහ හඳුනාගත හැකි බව නිලධාරීහු පවසති.

දකුණු ප්‍රාන්තයේ වැසියන් භූගත ජලය සහ ස්වාභාවික ජල මූලාශ්‍ර මත දැඩි ලෙස යැපීම හේතුවෙන් ඔවුන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ය. විශේෂයෙන් බොහෝ පොකුණු සහ ළිං දූෂිත තත්ත්වයේ පවතී. උදාහරණයක් ලෙස, පසුගිය වසරේ තරුණයන් තම්බා ගත් කංසා පොකුණු ජලය සමග මිශ්‍ර කර පානය කිරීමෙන් රෝගී වූ සුළු සිද්ධීන් සමූහයක් වාර්තා විය. එය දූෂිත ජලය ආසාදනය සඳහා මාර්ගයක් බවට පත්වන ආකාරය අවධාරණය කරන අවදානම් සහිත ක්‍රියාවකි.

කේරළයේ ළිං මිලියන 5.5කට ආසන්න ගණනක් සහ පොකුණු 55,000ක් පමණ ඇති අතර මිලියන ගණනක් දිනපතා ළිංවලින් පමණක් ජලය ලබා ගනිති. ළිං සහ පොකුණු සෑම තැනක ම පවතින අතර කේරළයේ ජන ජීවිතයේ කොඳු නාරටිය බැවින්, ඒවා "අවදානම් සාධක" ලෙස සැලකිය නොහැකි ය.

"සමහර ආසාදන පොකුණුවල ස්නානය කරන පුද්ගලයින් තුළත්, තවත් සමහරක් පිහිනුම් තටාක භාවිත කරන පුද්ගලයින් තුළත්, ආගමික චාරිත්‍රයක් වන ජලයෙන් නාසය සේදීමෙන් පවා ඇති වී තිබෙනවා. දූෂිත පොකුණක හෝ ළිඳක වේවා, අවදානම සැබෑයි," ප්‍රධාන පෙළේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන අනිෂ් ටීඑස් පවසයි.

This pond is located in Sobhana’s village in Malappuram district. The health department’s notice says swimming and bathing in the pond are prohibited until further notice. A warning sign board, preventing people from entering the pond, placed in front of Pathiriyal Valiya Pond in Thiruvali grama panchayat in Malappuram district following the death of a woman due to Amoebic Meningoencephalitis.

ඡායාරූප මූලාශ්‍රය, Nebula NP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමීබික් මෙනින්ගෝඑන්සෙෆලයිටිස් රෝගයෙන් කාන්තාවක මිය යාමෙන් පසු, කේරළයේ පොකුණක පිහිනීම තහනම් කරන අනතුරු ඇඟවීමේ පුවරුවක්

එබැවින් මහජන සෞඛ්‍ය බලධාරීන් පරිමාණයෙන් ප්‍රතිචාර දැක්වීමට උත්සහ කර ඇත: අගෝස්තු අවසානයේ එක් ක්‍රියාමාර්ගයකදී ළිං මිලියන 2.7ක් ක්ලෝරීනීකරණය කෙරිණි.

පළාත් පාලන ආයතන විසින් දිය නෑම හෝ පිහිනීම ගැන අනතුරු ඇඟවීමේ පුවරු පොකුණු වටා සවි කරනු ලැබ ඇති අතර, පිහිනුම් තටාක සහ ජල ටැංකි නිතිපතා ක්ලෝරීනීකරණය කිරීම බලාත්මක කිරීම සඳහා මහජන සෞඛ්‍ය පනත ක්‍රියාත්මක කර ඇත. නමුත් එවැනි පියවර තිබුණ ද, පොකුණු යථාර්ථවාදීව ගත් කළ ක්ලෝරිනීකෘත කළ නොහැක. මාළු මිය යනු ඇත. මිලියන 30කට වඩා වැඩි ජනතාවක් සිටින ප්‍රාන්තයක සෑම ගම්මානයක ම ජල මූලාශ්‍රයක් ආරක්ෂා කිරීම කළ නොහැකි දෙයකි.

නිලධාරීහු දැන් තහනමක් කිරීම ගැන අවධානය යොමු කරනවා වෙනුවට දැනුවත් කිරීම ගැන අවධානය යොමු කරති. නිවාස හිමියන්ගෙන් ටැංකි සහ තටාක පිරිසිදු කිරීමට, නාසය සේදීම සඳහා පිරිසිදු උණුසුම් ජලය භාවිත කිරීමට, උද්‍යානවල ජලය ඉසින යන්ත්‍රවලින් දරුවන් ඈත් කර තබා ගැනීමට සහ අනාරක්ෂිත පොකුණු භාවිතයෙන් වැළකී සිටින ලෙසට ඔවුහු ඉල්ලා සිටිති. පිහිනන්නන්ට තම හිස ජලයට ඉහළින් තබා ගැනීමෙන්, 'නෝස් ප්ලග්' භාවිත කිරීමෙන් සහ එකතැන පල්වෙන හෝ පවිත්‍ර නොකළ මිරිදිය ජලය බොර කිරීමෙන් වැළකී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබේ.

එසේ වුව ද, දෛනික ජීවිතයට බාධා වීමකින් තොරව පිරිපහදු නොකළ මිරිදිය ජලය භාවිත කිරීමේ සැබෑ අවදානම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අභියෝගාත්මක ය. වසරකට වැඩි කාලයක් මාර්ගෝපදේශ නිකුත් කර තිබුණ ද, ඒවා ක්‍රියාත්මක වීම අක්‍රමවත් බව බොහෝ දෙනෙක් පවසති.

"මේක අමාරු ප්‍රශ්නයක්. සමහර තැන්වල [උණු දිය උල්පත්], ජල මූලාශ්‍රයේ ඇමීබා ඇති බවට අනතුරු ඇඟවීම සඳහා පුවරු සවි කර තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොක ද ඇමීබා ඕනෑ ම පිරිපහදු නොකළ ජල ප්‍රභවයක [විල්, පොකුණු, තටාක] පැවතිය හැකි නිසා," ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ බෝ වන රෝග සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙනිස් කයිල් බීබීසීයට පැවසීය.

"වඩාත් පාලිත පරිසරයන් තුළ, නිසි ක්ලෝරීනකරණය සඳහා නිතර නිරීක්ෂණය කිරීමෙන් ආසාදන අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකියි. මේවාට තටාක, ස්ප්ලෑෂ් පෑඩ් සහ මිනිසා විසින් සාදන ලද අනෙකුත් විනෝදාත්මක ජල ක්‍රියාකාරකම් ඇතුළත් වෙනවා," ඔහු පැවසීය.

Boys use a makeshift raft to cross a canal in Kerala.

ඡායාරූප මූලාශ්‍රය, Abhishek Chinnappa/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කේරළයේ ළිං මිලියන 5.5කට ආසන්න ගණනක් සහ පොකුණු 55,000ක් පමණ ඇත

දේශගුණික විපර්යාස අවදානම වැඩි කරන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති: උණුසුම් ජලය, දිගු ගිම්හාන ඍතු සහ ඉහළ යන උෂ්ණත්වයන් ඇමීබා සඳහා ජීවත් වීමට හිතකර තත්ත්වයන් නිර්මාණය කරයි. "කේරළයේ නිවර්තන දේශගුණය තුළ සෙල්සියස් අංශක 1ක වැඩිවීමක් පවා එහි පැතිරීමට හේතු විය හැකි අතර ජල දූෂණය ඇමීබා පරිභෝජනය කරන බැක්ටීරියා පෝෂණය කිරීමෙන් එය තවදුරටත් වැඩි කරනවා," මහාචාර්ය අනිෂ් පවසයි.

අතීතයේ පුද්ගලයින් රෝගී වූ නමුත් ඊට හේතුව ඇමීබා ලෙස හඳුනා නොගැනීම ගැන ආචාර්ය කයිල් අනතුරු අඟවයි.

ඒ අවිනිශ්චිතතාව නිසා ප්‍රතිකාර කිරීම තවත් අපහසු විය හැකියි. වත්මන් ඖෂධ සංකලනවල පවතින "අඩු ප්‍රශස්ත" බව ගැන වෛද්‍ය කයිල් පැහැදිලි කරන අතර, එම ප්‍රතිකාර ක්‍රමවලින් යමෙකු දිවි ගලවා ගත් පසු, එම ක්‍රමය සම්මතය බවට පත්වන බව ද ඔහු පවසයි. "සියලු ම ඖෂධ ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත් ද නැතහොත් අවශ්‍ය ද යන්න තීරණය කිරීමට ප්‍රමාණවත් දත්ත අප සතුව නැහැ."

කේරළය වැඩි වැඩියෙන් රෝගීන් හඳුනාගෙන තවත් රෝගීන්ගේ දිවි ගලවා ගනිමින් සිටිය හැකි නමුත්, මෙම තත්ත්වයෙන් උගත හැකි පාඩම දේශ සීමාවලින් ඔබ්බට විහිද යයි. එනම් දේශගුණික විපර්යාස රෝග සිතියම නැවත සටහන් කරමින් තිබිය හැකි යි යන්න ය. දුර්ලභ ම රෝග කාරක පවා දිගු කලක් දුර්ලභව පැවතිය නොහැක.