ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමේ ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම අද සඳුදා ආරම්භ විය.

ලෝකයේ දීර්ඝතම ඡන්ද විමසීම හැටියට සැලකෙන මෙම මැතිවරණය සඳහා මාසයකට අධික කාලයක් ගත වනු ඇත.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය දීමට කෝටි අසූවකට අධික ඉන්දියානු පුරවැසියෝ සුදුසුකම් ලැබ සිටිති.

අද සඳුදා මැතිවරණය ආරම්භ වීමත් සමඟ පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ වරම ලද්දේ ඊශාන දිග ඉන්දියාවේ ඇසෑමයේ ඡන්දදායකයන් බවයි, ඉන්දියානු මැතිවරණ තොරතුරු මගින් පැවසෙන්නේ.

මෙවර මහ මැතිවරණයේ දී පාලක ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය හින්දු ජාතිකවාදී දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයෙන්(BJP) එල්ල වෙන දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටින බවත් ඉන්දීය මැතිවරණ වාර්තා වල දැක්වෙයි.

බීජේපී අභියෝගය

ඡායාරූප මූලාශ්‍රය, PTI and AFP

භාරතීය ජනතා පක්‍ෂයට නායකත්වය දෙන බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ජනතා ආකර්ෂණය මෙන් ම මතභේදයට ලක්ව සිටින නායකයෙකි.

මෙවර කොංග්‍රස් පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ රාහුල් ගාන්ධි විසිනි.

2014 වසරේ ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන්නේ දූෂණ අපචාර සහ රටේ ආර්ථික උද්ධමනයයි.

මැතිවරණ පහසුකම් සහ ආරක්ෂක හේතූන් අනුවයි මෙම මැතිවරණයට සති පහක පමණ කාලයක් ගත වන්නේ.

ඡන්ද ගණන් කරනු ලැබීම ආරම්භ කෙරෙන්නේ ලබන මැයි මාසයේ දහසය වෙනිදායි.