මැතිවරණ සටනට සැරසෙන රාහුල් ගාන්ධි

දේශපාලන ප්‍රතිවාදීන්;නරේන්ද්‍ර මෝඩි සහ රාහුල් ගාන්ධි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශපාලන ප්‍රතිවාදීන්;නරේන්ද්‍ර මෝඩි සහ රාහුල් ගාන්ධි.

මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ‘ලෝක් සභා’ ඡන්දයේ දී පාලක කොංග්‍රස් පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නායකත්වය පැවරුණේ රාහුල් ගාන්ධිට.

ඔහු අගමැති ධූර අපේක්ෂකයා හැටියට ප්‍රකාශයට පත් නො කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නායකයා කළේ, කොංග්‍රස් පක්‍ෂයේ දේශපාලන උපායක් වශයෙන් ය යන්න ඇතැමුන්ගේ විග්‍රහයයි.

ඉන්දියානු ජනමාධ්‍ය අදහස් කරන ආකාරයට කොංග්‍රස් පක්‍ෂය, රාහුල් ගාන්ධි කෙළින්ම අගමැති ධූර අපේක්ෂකයා හැටියට නම් නො කළේ දේශපාලන ආරක්‍ෂාව පිළිබඳ උපායක් වශයෙන්.

නව දිල්ලියේ ශ්‍රී ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන් පවසන්නේ රාහුල ගාන්ධිටත්, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිටත් , අභියෝග කළ හැකි මට්ටමේ ප්‍රාන්ත දේශපාලන නායකයන් ද මතු වී සිටින බවයි.

නව ප්‍රාදේශීය නායකයන්

රාහුල්.විකට රූපනයක.

ඡායාරූප මූලාශ්‍රය, Ashok Adepal BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, රාහුල්.විකට රූපනයක.

මහජන මත විමසුම් අනුව දැනට පසුබෑමක් පෙන්නුම් කෙරුණත්, පවතින දේශපාලන පරිසරය තුළ කොංග්‍රස් පක්‍ෂය, භාරතීය ජනතා පක්ෂය අභිබවමින් යළි පෙරට ඒමේ ඉඩකඩක් පවතින බව කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්ගේ අදහසයි.

එහෙත් තනි පක්‍ෂයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත නො හැකි මී ළඟ ඉන්දීය මහ මැතිවරණයත් සභාග ආණ්ඩුවක් බලයට පත් කෙරෙන දේශපාලන සටනක් විය හැකි බවයි පෙනී යන්නේ.

මෙවර මහමැතිවරණය තවත් මැතිවරණයක් නොව එය ඉන්දියාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බව රාහුල් ගාන්ධි කියා සිටියි.