ඔස්කාර් සම්මානලාභී කේ හුයි ක්වාන්ගේ ජයට වියට්නාමය හිමිකම් නොකියන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජොනතන් හෙඩ් සහ ට්‍රාන් වෝ
- Role, බැංකොක් සිට
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය දිනාගැනීමෙන් පසු සිදු කළ සංවේදී කතාවේදී, කේ හුයි ක්වාන් ඉලන්දාරියෙකු ලෙස තමන් වියට්නාමයේ සිට හොංකොංහි සරණාගත කඳවුරක් හරහා කැලිෆෝනියාවට බෝට්ටුවක ගිය සිය ගමන ගැන පැවසුවේ ය.
"අවුරුද්දක් මම හිටියේ සරණාගත කඳවුරක. කොහොම හරි මම අන්තිමට නැවතුණේ හොලිවුඩයේ විශාලතම වේදිකාවට ඇවිල්ලා," ඔහු පැවසීය. "මේ වගේ කතා සිද්ධ වෙන්නේ චිත්‍රපටවල විතරයි කියලා කියනවා. මට ඒක සිද්ධ වෙනවා කියලා මට විශ්වාස කරන්න බෑ. මේක තමයි ඇමෙරිකානු සිහිනය."
ඔස්කාර් සම්මානයක් දිනාගත් වියට්නාම සම්භවයක් ඇති පළමු පුද්ගලයා ඔහු වන අතර, මෙවසරේ එම සම්භවයක් ඇති නාමයෝජිතයින් දෙදෙනාගෙන් එක් අයෙකු ද වේ. මේ සඳහා යෝජනා වූ අනෙක් රංගන ශිල්පිනිය The Whale චිත්‍රපටයේ හොං චාවු ය. ඇයගේ පවුලේ අය ද බෝට්ටුවක් ආධාරයෙන් වියට්නාමයෙන් පළාගොස් තිබුණු අය වෙති.
එසේ වුව ද වියට්නාමයේ නිල ප්‍රතිචාරය එතරම් සතුටුදායක නොවේ. මුළුමනින් ම පාහේ රාජ්‍ය පාලනය යටතේ පවතින මාධ්‍යවල පළ වූ වාර්තාවන්හි කේ හුයි ක්වාන් ගැන හෝ ඔහුගේ පසුබිම ගැන එතරම් සඳහනක් නැත.
ඇතැම් මාධ්‍ය ඔහුගේ වියට්නාම සම්භවයට වඩා ඔහුගේ චීන සම්භවය ගැන අවධාරණයෙන් යුතුව සඳහන් කර තිබේ. ඔහු 1971 වසරේදී දකුණු වියට්නාමයේ සයිගොන් අගනුවර උපත ලැබීය. ඔහුගේ පවුල, බොහෝ අග්නිදිග ආසියානු නගරවල දක්නට ලැබෙන වාණිජමය වශයෙන් සාර්ථක චීන සම්භවයක් ඇති සුළුජන කොට්ඨාසයකට අයත් ය. ඊනියා "බෝට්ටුකාරයින්" [මුහුදු මාර්ගයෙන් රටක් හැර ගිය සරණාගතයින්] සමූහයක් ලෙස එකවර රට හැරගිය අවස්ථාවේ ඔහු ද වියට්නාමයෙන් සරණාගතයෙකු ලෙස පිටව යෑම ගැන කිසිවෙකු සඳහන් කළේ නැත.
Thanh Nien පුවත්පත වාර්තා කර තිබුණේ, "ඔහු 1971 වසරේ දී හෝ චි මිං සිටිහි [සයිගොන්හි නිල නාමය] චීන පවුලක උපත ලබා, පසුව 1970 ගණන්වල අගභාගයේදී එක්සත් ජනපදයට සංක්‍රමණය වූ" බව පමණකි.
Tuoi Tre පුවත්පත මෙසේ ලිවීය: "ක්වාන් කේ හුයි 1971 වසරේ දී වියට්නාමයේ දී හොංකොංහි මවක සහ චීන පියෙකු සිටි චීන පවුලකට උපත ලැබීය."
මෙම නළුවාට සාම්ප්‍රදායිකව චීන සම්භවයක් ඇති ජනතාව වාසය කරන සයිගොන්හි වාණිජ දිස්ත්‍රික්කය වන "චෝ ලොන් ප්‍රදේශයේ චීන දෙමාපියන් ඇතැ" යි VN Express ලිවීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිරිත් පරිදි නිහඬව සිටින කොමියුනිස්ට් පක්ෂයෙන් එවැනි හැසිරීමක් අපේක්ෂා කිරීම පුදුමයට කරුණක් නොවුණ ද, වියට්නාම ආණ්ඩුවේ කිසිවෙකු කිසිවක් පවසා නැත. සිය වියට්නාම මූලයන් විවෘතව පිළිගන්නා, සාර්ථක, දැන් ගෝලීය වශයෙන් පිළිගත් නළුවෙකු තමන්ගේයැ යි පැවසීමට ඇති අකමැත්තට හේතුව කුමක් ද?
1970 සහ 80 ගණන්වල "බෝට්ටුකාරයින්ගේ" නික්ම යාම වියට්නාමයේ මෑත ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදවලින් එකකි. මිලියන 1.5කට වැඩි ජනතාවක් දකුණු චීන මුහුද හරහා බොහෝවිට අබලන් බෝට්ටුවලින් රට හැර ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් චීන සම්භවයක් ඇති අය විය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව මින් 200,000ත් 400,000ත් අතර පිරිසක් මියගොස් තිබේ. ඉන් ඇතැමෙක් කුරිරු මුහුදු කොල්ලකරුවන් අතින් මියගියහ. එකල එක්සත් ජනපදයේ හමුදා බලය පරාජය කර, වඩා ත් මෑතකදී විශිෂ්ට ආර්ථික වර්ධනයකට නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයකට, එය මතක තබා ගැනීමට අවශ්‍ය නොවන කාල පරිච්ඡේදයකි. කේ හුයි ක්වාන්ගේ ඔස්කාර් සම්මානය ඒ සියල්ල නැවත ගෙන එයි.
"බෝට්ටුකාරයින්ගේ" ඛේදජනක පළායාම වියට්නාමයේ යෝධ අසල්වැසියා වන චීනය සමග ඇති ආතතිමය සම්බන්ධතාව සිහිපත් කිරීමකි. පළමුව ප්‍රංශ සහ පසුව ඇමෙරිකානුවන්ට එරෙහි වියට්නාම අරගලයේ දී චීන ආධාර විශාල ප්‍රමාණයක් උතුරු වියට්නාමයට ගලායාමත් සමග කොමියුනිස්ට් රාජ්‍ය දෙක, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔවුන්ගේ සංක්‍රාන්තිය සිදුවූ වසරවල නිල වශයෙන් ඉතා සමීපව සිටියේ ය.
නමුත් 1975 වසරේ අප්‍රේල් මාසයේ දී උතුරු වියට්නාමයේ ජයග්‍රහණය සහ රට යළි ඒකාබද්ධ කිරීම සිදුවන විට සබඳතා වඩ වඩා ත් පළුදු විය. වියට්නාමයේ කොමියුනිස්ට් නායකත්වය, චීන-සෝවියට් වෙන්වීම සහ එක්සත් ජනපදය සමග චීනය නැවතත් මිත්‍රවීම මත සෝවියට් සංගමයට සහාය දැක්වීම නිසා මෙය සිදු විය.
කේ හුයි ක්වාන්ගේ පවුල ඇතුළු ප්‍රධාන වශයෙන් චෝ ලොන් ප්‍රදේශයේ සිටි චීන සම්භවයක් තිබූ විශාල ජනගහණය මීට නතු විය. පරාජිත පාලන තන්ත්‍රයට පක්ෂපාතීයැ යි සැක කරන දකුණු වියට්නාමයේ ප්‍රධාන ධනේශ්වර කණ්ඩායම ලෙස ජයග්‍රාහී කොමියුනිස්ට්වාදීන්ගෙන් ඔවුහු ඒවන විට ත් පීඩනයට ලක්ව සිටියහ. බොහෝ අය ඔවුන්ගේ විශ්වාසයන් සහ හැසිරීම් වෙනස් කරන කඳවුරුවලට යොමු කෙරිණි.
අත්විඳින ලද දැවැන්ත හානිය, ජාත්‍යන්තර හුදෙකලාව සහ නව පාලන තන්ත්‍රයේ නම්‍යශීලී නොවන සමාජවාදී ප්‍රතිපත්ති හේතුවෙන් වියට්නාමයේ ආර්ථිකය යුද්ධයෙන් පසු වසර ගණනාවක් දරුණු තත්ත්වයක පැවතියේ ය. සාමාන්‍යයෙන් නිලධාරීන්ට අල්ලස් දීමට සහ බෝට්ටු කුලියට ගැනීමට ඔවුන් සතුව මුදල් තිබූ බැවින්, චීන සම්භවයක් තිබුණු වැසියෝ 1978 වසරේ සැප්තැම්බර් මාසයේදී විශාල වශයෙන් රට හැරයාමට පටන් ගත්හ.
චීන විරෝධී හැඟීම් උත්සන්න වූ කාලයක් වූ 1979 වසරේ පෙබරවාරි මාසයේදී වියට්නාමයට චීනය එල්ල කළ ප්‍රහාරයෙන් පසුව රට හැර යාම වේගවත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීන සම්භවයක් ඇති පුද්ගලයින් සමග එතරම් නොවුණත්, චීනය සමග ඇති මතභේදාත්මක සම්බන්ධතාව අද ත් පවතියි. බොහෝ වියට් කියු [පළා ගිය පිරිස් එලෙස හඳුන්වයි] උදවියට වියට්නාමයට ආපසු ගොස් සමෘද්ධිමත් වීමට හැකි වී තිබේ.
එහෙත් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති දූපත් සම්බන්ධයෙන් චීනයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති කෙරෙහි ඇති අමනාපය සහ එහි වර්ධනය වන ආර්ථික අධිකාරිත්වය, ජනගහණය තුළ ඇති ප්‍රබල චීන විරෝධී හැඟීම් ශක්තිමත් කරයි.
"ඔහු [කේ හුයි ක්වාන්] වියට්නාම සම්භවයක් ඇති අයෙකු නොවෙයි, ඔහු චීන-වියට්නාම සම්භවයක් ඇති වියට්නාමයේ උපත ලැබූ අයෙක් විතරයි. අපි ඒක පැහැදිලිව කියන්න ඕන," බීබීසී වියට්නාම ෆේස්බුක් පිටුවේ එක් පුද්ගලයෙක් ලිවීය.
"ඔහු චීන-ඇමෙරිකානුවෙක් බවට ත්, ඔහුට වියට්නාම ජාතිකත්වයක් තිබුණු බවට ත් ඔවුන් ඉතා පැහැදිලිව ලිවිය යුතු යි! මට මෙතැන කිසි ම "වියට්නාම සම්භවයක්" පේන්න නෑ?" තවත් අයෙක් ලිවීය.
නමුත් තවත් පෝස්ටරයක ලියා තිබුණේ, "ඔහු වියට්නාමයේ ඉපදුණු චීන සම්භවයක් ඇති කෙනෙක් නිසා ඔහු වියට්නාම ජාතිකයෙක් කියලා අප කියන්න ඕන," යනුවෙනි.
හෝ චි මිං සිටිහි සිට ෆේස්බුක්හි සටහනක් තබමින් ලේඛක ට්‍රෑන් ටියෙන් ඩං සඳහන් කළේ, කේ හුයි ක්වාන්ගේ අනන්‍යතාව සයිගොන්-චෝ ලොන් පුද්ගලයෙකු ලෙස ය: "මට අනුව නම්, ක්වාන් කේ හුයි ඔහුගේ ශක්තිය ලබාගන්නේ සයිගොන්-චෝ ලොන්හි පිහිටි ඔහු උපන් ස්ථානයෙන්. ඔහු කීර්තිය අත්පත් කර ගන්නේ එක්සත් ජනපදයේ හැදී වැඩීමෙන්. ඒ නිසා මම ඔහුට සුබ පතන්න සහ සමාජ මාධ්‍ය හරහා ජනතාව සමග ප්‍රීතිය බෙදා ගන්න කැමතියි."
"මම හිතන්නේ, කේ හුයි ක්වාන්ගේ ඉතිහාසය "බෝට්ටුකාරයෙක්" කියලා රාජ්‍ය මාධ්‍ය නොසලකා හැර ඇති ආකාරය කණගාටුදායකයි," සිඩ්නිහි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන් ම "බෝට්ටුකාරයෙකු" ද වූ න්ගුයෙන් වැන් ටුවාන් පවසයි.
"1970 සහ 80 ගණන්වල සරණාගත "බෝට්ටුකාරයින්ගේ" කතාව එරට ඉතිහාසයේ ඛේදනීය කාල පරිච්ඡේදයක්. ඒ කාලෙ එක්සත් ජනපදයට පැමිණි, චීන සම්භවයක් ඇති හෝ "හුදෙක් වියට්නාම" හෝ වේවා, බොහෝ වියට්නාම සරණාගතයින් ඉතා දිළිඳු යි. ඔවුන් ඉංග්‍රීසි කතා කළේ නැහැ. එහෙත් ඔවුන් දිවි ගලවාගත් අතර දියුණුවට පත්වුණා.
"භාග වෙලාවට අපේ ඉතිහාසයේ ඒ දුක්ඛිත හා වේදනාකාරී කාල පරිච්ඡේදය ගැන ඒ අයට උගන්නලා නැති නිසා අද වියට්නාමයේ ඉන්න පරම්පරාවට ඒ කාලේ සරණාගතයින් වින්ද දුක් කන්දරා ගැන හිතා ගන්නවත් බෑ."
ජොනතන් හෙඩ් බීබීසීයේ අග්නිදිග ආසියාවේ වාර්තාකරු වන අතර ට්‍රාන් වෝ බැංකොක්හි පිහිටි බීබීසී වියට්නාම සේවයේ මාධ්‍යවේදියෙකි









