ඔස්කාර් 2023: සම්මාන රාත්‍රිය අතික්‍රමණය කළ 'Everything Everywhere All at Once'

Ke Huy Quan wins the Oscar for Best Supporting Actor for "Everything Everywhere All at Once" during the Oscars show at the 95th Academy Awards in Hollywood, Los Angeles, California, U.S., March 12, 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ස්ටීවන් මැකින්ටොෂ්
    • Role, ප්‍රාසංගික වාර්තාකරු

'Everything Everywhere All at Once' ඔස්කාර් සම්මාන රාත්‍රිය අතික්‍රමණය කිරීමට සමත් වූ අතර හොඳ ම නිළිය (සම්මානය) ජයග්‍රහණය කළ පළමු ආසියාතික කාන්තාවට බවට පත්වීමට මිෂෙල් යෝහ් ට හැකිවිය.

හොඳ ම චිත්‍රපටිය, අධ්‍යක්ෂණය සහ ස්වතන්ත්‍ර රචනයට හිමි සම්මාන ඇතුළු සම්මාන හතක් (මේ) නිර්මාණාත්මක, බහුවිශ්වීය, වික්‍රමාන්විතය දිනා ගත්තේ ය.

ඇගේ සමරු තිළිණය ලබා ගනිමින් යෝහ් (මෙසේ) පැවසුවා ය: " අද රෑ මෙය නරඹමින් ඉන්න මම වගේ කුඩා ගැහැණු හා පිරිමි දරුවන්ට මෙය බලාපොරොත්තුවේ හා වියහැකියාවේ දීප්තියයි"

"ඒ වගේ ම කාන්තාවනි, ඔබට කවදා හෝ ඔබේ හොඳම කාලය පසුකර සිටින බව කියන්න කාටවත්ම ඉඩ දෙන්න එපා"

යෝහ් ගේ සම-තරු වන කේ හුයි ක්වාන් සහ ජේමී ලී කර්ටස් සහය නළුවා සහ සහය නිළිය යන අංශ දෙකෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් හ. ඔස්කාර් ඉතිහාසයේ වෙනත් කිසිඳු චිත්‍රපටයක් හොඳ ම චිත්‍රපටය, හොඳ ම අධ්‍යක්ෂණය සහ රංගනයට සම්මාන තුනක් දිනාගෙන නැත.

'Everything Everywhere All at Once' හි යෝහ්, බදු විගණනයේ ගිලී සිටින, කැඩීබිඳෙමින් යන විවාහයක සිර වී සිටින සහ සිය දියණිය ජෝයි සමග සම්බන්ධ වීමට දැඩි වෙහෙසක් දරනා චීන-අමෙරිකානු ලොන්ඩරි හිමිකාරිනියකගේ චරිතය රඟදක්වයි.

"හීන හැබෑවෙනවා කියන එකට මේක සාක්ෂියක්" ඇගේ කතාවේ දී යෝහ් පැවසුවා ය. "මම මෙය ලෝකයේ සිටින හැම අම්මා කෙනෙකුට ම පිළිගන්වනවා. ඒ වගේ ම ඔවුන් සුපිරි වීරයන්. ඒ වගේ ම ඔවුන් නැතිනම් අපි කිසිම කෙනෙක් අද රෑ මෙතන නෑ."

Daniel Kwan, Daniel Scheinert and Jonathan Wang pose with the Oscar for Best Picture for "Everything Everywhere All at Once" in the Oscars photo room at the 95th Academy Awards in Hollywood, Los Angeles, California

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Everything Everywhere All At Once' හි අධ්‍යක්ෂකවරුන් වන ඩැනියෙල් ශයිනට්(වමේ), ඩැනියෙක් ක්වාන් (දකුණේ) සහ නිෂ්පාදක ජොනතන් වන්ග් (මැද)

මේ වසරේ ඔස්කාර් තරඟයේ දී 60 හැවිරිදි වියේ පසුවෙමින් ජිවිතයේ පසු අවදියේදී ජයග්‍රාහි මොහොතකට එළැඹි යෝහ්, අවසානයේ දී ඇය ඉදිරියෙන් ම සිටි කේට් බ්ලැන්චෙට් පසු කළා ය.

දශක දෙකකටත් එපිටදී 'Monster's Ball' චිත්‍රපටය සඳහා හැලී බෙරීට පසු ව, හොඳ ම නිළියට සම්මානය දිනාගත් සුදු ජාතික නොවන කාන්තාව වන්නේ යෝහ් පමණි.

අරියානා ඩේ බස්, යූ-ජන්ග් යන්, රෙජිනා කින්ග්, වයලා ඩෙවිස්, ලුපිටා නියෝන්ගෝ සහ ඔක්ටාවියා ස්පෙන්සර් වැනි අය පසුගිය දශකය තුළ ජයග්‍රහණය කර ඇති සහය නිළිය ඛාණ්ඩයට වඩා හොඳම නිළිය (කාණ්ඩයේ) ඓතිහාසිකව අඩු විවිධත්වයක් පවතියි.

බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්ගේ ආගමනය

Brendan Fraser accepts the Oscar for Best Actor for "The Whale" during the Oscars show at the 95th Academy Awards in Hollywood, Los Angeles, California

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆ්‍රේසර්, ඔහු "නිර්මාණාත්මක ජීවන මාර්ගයකට" තල්ලු කිරීම ගැන අධ්‍යක්ෂක ඩැරන් ඇරොනොෆ්ස්කිට ස්තූති කළේ ය.

ෆ්‍රේසර්, ඔහු "නිර්මාණාත්මක ජීවන මාර්ගයකට" තල්ලු කිරීම ගැන අධ්‍යක්ෂක ඩැරන් ඇරොනොෆ්ස්කිට ස්තූති කළේ ය.

තවත්තැනක දී, වසර ගණනක් හොලිවුඩයෙන් ඈත් ව සිටීමෙන් පසු ව, 'The Whale' හි ඉදිරිපත් කිරීමට හොඳ ම නළුවා සම්මානය දිනාගනිමින් බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් ඔහුගේ සුවිශේෂී නැවත පැමිණීම සනිටුහන් කළේ ය.

අධ්‍යක්ෂකවරයාට ස්තූති කරමින් පනස් හතර හැවිරිදි ඔහු (මෙසේ) පැවසුවේ ය: "මාව නිර්මාණාත්මක ජීවන මාර්ගයකට තල්ලු කිරීම ගැන මම ඩැරන් ඇරොනොෆ්ස්කිට කෘතඥ වෙනවා."

"මට කියන්න ඕනෑ වුණේ මේ පිළිගැන්වීමට ඔබට ස්තූතියි කියලා." ඔහු පැවසුවේ ය.

ඔහුගේ සහෝදර නාමිකයන් අමතා ඔහු මෙසේ පැවසුවේ ය: "කිසිවෙකු නොකරන ආකාරයෙන්, තල්මසෙකුගේ හදවත තරම්ම ඔබ ඔබේ හදවත විවර කෙරුවා. ඒ නිසා අපිට ඔබේ ආත්මයේ ඇතුළාන්තය දකින්න හැකිවුණා. ඒ වගේ ම ඔබ සමග මේ අංශයට මා නම් කිරීම මට ගෞරවයක්."

පසුකාලීනව බොහෝවිට සුළු චරිත වලට පණ දෙමින් ඔහුගේ පෙර තිබූ සාර්ථකත්වය ලබා ගැනීමට වෙහෙසෙමින් ඔහු වසර ගණනාවක් අවධානයෙන් බැහැර ව ගත කළේ ය.

එය වෙනස් වූයේ, භේද වී සිටින සිය දියණිය සමග ඇති සම්බන්ධය නැවත සකස් කරගැනීමට උත්සහ කරන අධිබර මහාචාර්‍යවරයෙකු ලෙස 'The Whale' හි ඔහු රංගනයෙන් දායක වීම සමගයි.

ෆ්‍රේසර් චිත්‍රපටයට සිය පෙනුම වෙනස් කරගත් අතර එය හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම ද දිනාගන්නා ලදි.'Gorge of the Jungle' සහ 'The Mummy' වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ෆ්‍රේසර් සහස්‍රය ආරම්භයේ දැවැන්ත සිනමා තරුවක් විය.

කේ හුයි ක්වාන්ගේ සංවේදී ආමන්ත්‍රණය

ෆ්‍රේසර්ට සමාන ව, හොඳ ම සහය නළුවා ජයග්‍රාහක ක්වාන් ද මේ සම්මාන කාලසීමාවේ දී පුනරාගමනයක කතාන්දරයක් අත්වින්ඳේ ය. (මෙම ) නළුවා 'Everything Everywhere All at Once' හි ඔහුගේ චරිතයට ස්තූතිවන්නට හදිසියේ ම නැවතත් අවධානයට ලක් විය.

"සමහර වෙලාවට හීන ගැන විශ්වාසය තබාගෙන්න ඉන්න ඔබට සිදුවෙනවා - මම මගේ (හීන) සම්පූර්ණයෙන් වගේ අතඇරියා" ඔහු ප්‍රේක්ෂකාගාරයට පැවසුවේ ය.

පනස් එක් හැවිරිදි ඔහු, 'The Goonies', 'Indiana Jones' සහ 'The Temple of Doom' වැනි චිත්‍රපටවල ළමා තරුවක් ලෙස නැගී ඒමෙන් පසු ව රංගනයෙන් දීර්ඝ විවේකයක් ලබා ගත්තේ ය.

සංවේදී කතාවක දී වියට්නාම්-අමෙරිකානු නළුවා මෙසේ පැවසුවේ ය: "ඔවුන් කියනවා මේ වගේ කතා සිද්ධ වෙන්නේ චිත්‍රපටවල විතරයි කියලා - මට විශ්වාස කරන්න බෑ මට එය සිදුවුණා කියලා. මේක ඇමෙරිකානු හීනයක් "

"මගේ ගමන ආරම්භ වුණේ බෝට්ටුවකින්, මම අවුරුද්දක් සරණාගත කඳවුරක ගත කළා, කොහොමහරි අද මම හොලිවුඩයේ ලොකු ම වේදිකාව වන මෙතනින් නැවතිලා තිබෙනවා... නැවත මා පිළිගත්තාට ඔබට බොහොම ස්තූතියි."

Jamie Lee Curtis wins the Oscar for Best Supporting Actress for "Everything Everywhere All at Once" during the Oscars show at the 95th Academy Awards in Hollywood, Los Angeles, California

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේමී ලී කර්ටිස්ගේ හොඳ ම සහය නිළිය විශිෂ්ට ජයග්‍රහණය ඇගේ අවුරුදු හතලිස් පහක රංගන වෘත්තියේ පළමු ඔස්කාර් සම්මානයයි.

කර්ටිස්, රාත්‍රියේ වඩාත් තරඟකාරී අංශයන්ගෙන් එකක් වූ හොඳ ම සහය නිළිය ජයග්‍රහණය ලබා ගනිමින් ඇගේ අවුරුදු හතලිස් පහක රංගන ජීවිතයේ පළමු ඔස්කාර් සම්මානය දිනා ගත්තා ය.

"මම මෙතැන හිටගෙන ඉන්නවා කියලා පෙනෙන බව මම දන්නවා වුණත් ඒක එහෙම නොවෙයි. මම මිනිස්සු සිය ගානක්" කර්ටිස් සිය (සම්මානය) භාරගැනීමේ කතාවේ දී පැවසුවා ය. "මේ චිත්‍රපටය නිර්මාණය කළ සමස්ත කලාකරුවන් කණ්ඩායම - අපි මේ දැන් ඔස්කාර් ජයග්‍රහණයක් ලබා ගත්තා"

'Everything Everywhere All At Once' හොඳම සංස්කරණය, හොඳ ම ස්වතන්ත්‍ර රචනය මෙන් ම 'ඩැනියෙල්ස්' ලෙස හඳුන්වන ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ශයිනට් දෙදෙනාට හොඳ ම අධ්‍යක්ෂණය (සම්මානය) ද හිමිවිය.

හොඳ ම චිත්‍රපටය සඳහා (සම්මානය) භාරගනිමින් ක්වාන් පැවසුවේ, " අපි ජීවත් වන මේ පිස්සු ලෝකයේ ව්‍යාකූලත්වයෙන් (බේරීමට) එකිනෙකාට පිහිටවීම, අපට එකිනෙකා වෙනුවෙන් කළ හැකි එක් දෙයක් බව මම හැදී වැඩෙන විට තේරුම් ගත්තා. මම වෙනුවෙන් එය කළ කතා කියන්නන්ට ස්තූතියි."

අනෙකුත් ජයග්‍රාහකයන්

නෙට්ෆ්ලික් හි ජර්මානු භාෂාවෙන් නිර්මාණය වූ පළමු ලෝක යුද්ධය පිලිබඳ වීර (චිත්‍රපටයක් වන), 'All Quiet on the Western Front', හොඳ ම ජාත්‍යන්තර වෘතාන්තය, ස්වතන්ත්‍ර නිර්මාණය, නිෂ්පාදන නිර්මාණයය සහ හොඳම සිනමාකරණය යන සම්මාන හතර සමගින් රාත්‍රියේ දෙවන ස්ථානයට පත් විය.

එය ඔස්කාර්හි ලැබූ සාර්ථකත්වය බැෆ්ටා හි ලැබූ තාක්ෂණික ජයග්‍රහණ මාලාවට සමගාමී වන නමුත්, චිත්‍රපටය ඉහළ ම ඛාණ්ඩ වල බ්‍රිතාන්‍ය ජයග්‍රහණය ලබා ගැනීමට අපොහොසත් විය.

ගියෙල්‍මෝර් ඩෙල් ටෝරෝගේ 'Phinocchio' හොඳ ම සජිවකරණ වෘතාන්තය ලෙස නම් කරන ලදි. මෙක්සිකානු චිත්‍රපට නිර්මාණකරු පැවසුවේ: "සජිවකරණය කියන්නේ සිනමාව, සජිවකරණය කියන්නෙ ශානරයක් නෙවෙයි. සජිවකරණය ඊළඟ පියවරට ගෙන යන්න සූදානම්."

'Wakanda Forever' හි රූත් ඊ කාටර් මුල් 'Black Panther' දිනුමත් සමග හොඳ ම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය නැවතත් ජයග්‍රහණය කළා ය. ඇය ඇගේ ත්‍යාගය පසුගිය සතියේ මිය ගිය වසර 101ක් වයසැති ඇගේ මවට පිරිනැමුවා ය.

Ruth E. Carter speaks after winning the Oscar for Best Costume Design for "Black Panther : Wakanda Forever" during the 95th annual Academy Awards ceremony at the Dolby Theatre in Hollywood, Los Angeles, California, USA, 12 March 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Wakanda Forever' හි රූත් ඊ කාටර් හොඳ ම ඇඳුම් නිර්මාණයට හිමි ඇගේ සම්මානය ඇගේ මියගිය මවට පිළිගැන්වූවාය.

'The Boy', 'The Mole', 'The Fox and The Hourse' සඳහා බ්‍රිතාන්‍ය ජයග්‍රහණ ලැබීය. නත්තල් කාලයේ දී BBC One විසින් විකාශය කළ, චාලි මැකේසිගේ කෘතියේ රූපමය අනුවාදය හොඳ ම සජිවකරණ කෙටි වීඩියෝවට හිමි සම්මානය ජයග්‍රහණය කළේ ය.

රුසියානු විපක්ෂ නායක ඇල්ක්සි නවාල්නි සහ 2020 දී සිදු වූ ඔහුට කළ විෂ ශරීර ගතකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇති 'Navalny' හොඳ ම වාර්තාමය වෘතාන්තයට හිමි සම්මානය ලබා ගත්තේ ය.

වසර දෙකකට සිරගත වී සිටින නවාල්නිට අධ්‍යක්ෂක ඩැනියෙල් රෝහර් සිය කතාවේදී තම සම්මානය පිරිනැමූ අතර, ඔහු පැවසුවේ: "ඇලෙක්සි, ඔබ ලෝකය වෙත එවූ වැදගත් පණිවුඩය ලෝකය අමතක කර නැහැ." යනුවෙනි.

"ඇලෙක්සි, ඔබ නිදහස් වන සහ අපේ රට නිදහස් වන දිනය ගැන මම සිහින මවනවා, මගේ ආදරය, ශක්තිමත් ව සිටින්න" නවාල්නිගේ බිරිඳ යූලියා නවාල්නයා එකතු කළා ය.

පසුගිය වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ 'Top Gun: Maverick' හොඳ ම ශබ්ධ පරිපාලනය අංශයේ ජයග්‍රහණය ලැබූ අතර RRRහි 'නාටු නාටු' හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගත්තේය.

උත්සවයේ තවත් තැනක දී, රිහානා 'Lift Me Up' (Wakanda Forever හි ගීතයක්) ගායනා කළ අතරතුර දී මේකප් නොමැතිව සාමාන්‍ය ලෙස ඇඳ පැළැඳ සිටි ලේඩි ගාගා 'Hold My Hand' (Top Gun: Maverick හි ගීතයක්) ගායනා කළා ය.

ජිමී කිමෙල්ගේ හොඳ ම ඔස්කාර් විහිළු

Jimmy Kimmel gets danced off the stage while hosting the Oscars show at the 95th Academy Awards in Hollywood, Los Angeles, California, U.S., March 12, 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දීර්ඝ ව කතා කළ ජයග්‍රාහකයන්ගේ පසුපසින් ඉන්දියානු RRR චිත්‍රපටයේ නර්තන ශිල්පීන් සිටිය යුතු බවට කිමෙල් විහිළු කළේ ය.

පසුගිය මාස 12 තුළ චිත්‍රපට කර්මාන්තයේ ස්වරූපය විදහා දක්වන මොනලෝගයකින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙල ආරම්භ කළ ජිමී කිමෙල් ඇමරිකානු චැට් ෂෝ මෙහෙයවන්නෙකි.

"හොලිවුඩයට අදහස් ඉවරයි කියලා එයාලා කියනවා. මම කියන්නේ අහිංසක ස්ටීවන් ස්පිල්බර්ග්ට ස්ටීවන් ස්පිල්බර්ග් ගැන චිත්‍රපටයක් කරන්න වුණානේ." අධ්‍යක්ෂකවරයා විසින් ම ලියන ලද ආත්ම කථනයක් වන 'The Fabelmans' හොඳ ම චිත්‍රපයට යන කාණ්ඩයට නිර්දේශ වීම ගැන ඔහු විහිළු කළේ ය.

"ගිණුම් දෙපාර්තමේන්තුවෙන් පරාද කළ පළමු සුපිරි වීරයා" යැයි චරිතය ගැන අදහස් දක්වමින් අවලංගු කළ 'Batgirl' චිත්‍රපටය ගැන ද විහිළු කළේ ය.

'Avatar: The Way of Water' ගැන ඔහු විස්තර කළේ "හැමදෙයකට ම වඩා ජේම්ස් කැමරන් කරන්න කැමතිම දේට අවස්ථාවක් හම්බවෙලා- කේට් වින්ස්ලට් ගිල්වන්න "(කැමරන්ගේ ටයිටැනික් හි පෙනීසිටි නිළිය) ලෙසයි.

Host Jimmy Kimmel brings out a donkey during the Oscars show at the 95th Academy Awards in Hollywood, Los Angeles, California, U.S., March 12, 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජිමී කිමෙල් වේදිකාවට 'Banshees of Inisherin' චිත්‍රපටයට සම්බන්ධ බූරුවෙකු ගෙන ආවේ ය.

"විවිධත්වය සහ අන්තර්ගත කරගැනීම සඳහා මේක දැවැන්ත වසරක් වුණා. ඩබ්ලින්හි හැම අස්සක් මුල්ලකින් ම අපට නාමයෝජනා තිබෙනවා." කිමෙල් නොනවත්වා කීවේ ය. කොලින් ෆැරල් සහ කෙරී කොන්ඩන් ඇතුළු ව 'The Banshees of Inisherin' හි රංගනය සඳහා නාමයෝජනා හතරක් තිබුණි.

"අද රෑ අයිරිෂ් නළුවන් පස් දෙනෙක් නිර්දේශ වෙලා කියන්නේ තවත් වලියකට තියෙන අවාසිය ඉහළ ගියා කියන එක"

අවසානයේ දී, පසුගිය වසරේ උත්සවය වසාගත් සිදුවීම වන විල් ස්මිත් ක්‍රිස් රොක්ට පහරදීම ගැන කිමෙල් මතක් කළේය.

"කවුරුහරි වැඩසටහන අතරමැද හිංසනකාරී ක්‍රියාවක් කළොත්, ඔයාට හොඳ ම නළුවා සම්මානය හිමිවෙනවා. ඒ වගේ ම විනාඩි 19ක කතාවක් හිමිවෙනවා" යැයි වැඩියෙන් සිනා ගන්වමින් කිමෙල් පැවසුවේ ය.