කොරෝනා වෛරසය: ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය තුළ වෙනත් රටවල් අභිබවන රෝගීන් ගණනක්

Drone pictures show bodies being buried in a wide trench on New York's Hart Island

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එක් දිනක් තුළ කොරෝනාවෛරසයෙන් වූ මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවූ ලොව පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ.

සෙනසුරාදා (අප්‍රේල් 11) ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්නුම් කළ දත්තවලට අනුව පැය 24ක් තුළදී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 2,108 දෙනෙකු මරණයට පත්වී ඇති අතර තහවුරු වූ අසාදිතයින් සංඛ්‍යාව දැන් ලක්ෂ පහ ඉක්මවා ගොස් ඇත.

මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ලොව අන් සියලු රටවලට වඩා කොරෝනාවෛරසය ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය තුළ දක්නට ලැබේ.

නිව් යෝර්ක්හි පමණක් කොවිඩ් -19 රෝගීන් ගණන බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 9) 10,000න් ඉහළ ගොස් තිබුණු අතර, මුළු සංඛ්‍යාව 159,937 ක් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කර තිබිණි. එය ස්පාඤ්ඤය (රෝගීන් 153,000) සහ ඉතාලියේ (රෝගීන් 143,000) රෝගීන් ගණනට වඩා අධිකය.

නිව් යෝර්ක් නගරයේ නවතා ඇති තාවකාලික මෘත ශරීරාගාර වන අධිශීත කළ ට්‍රේලර කිහිපයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නිව් යෝර්ක් නගරයේ නවතා ඇති තාවකාලික මෘත ශරීරාගාර වන අධිශීත කළ ට්‍රේලර කිහිපයක්

පසුගිය වසරේ දී වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් රෝගීන් 82,000 ක් වාර්තා විය.

කොරෝනාවෛරස් ආසාදිතයන් සංඛ්‍යාවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තය ලොව ඉදිරියෙන් සිටින නමුත්, මරණ සංඛ්‍යාව (7,000) ස්පාඤ්ඤය (15,500) හා ඉතාලියට (18,000) වඩා අවම අගයක් ගනී. නමුත් චීනයට (3,300) වඩා නිව්යෝර්ක්හි මරණ සංඛ්‍යාව දෙගුණයකි.

ආරක්‍ෂිත ඇඳුමින් සැරසුණු සේවකයන් නිව් යෝර්ක් නගරයේ සමූහ මිනීවළක මිනී පෙට්ටි වළලමින් සිටින ඡායාරූප පළ වී තිබේ.

මිනී පෙට්ටි ගොඩගසා ඇති විශාල වළට බැසීමට සේවකයන් ඉණිමඟක් භාවිතා කරන අයුරු ඩ්‍රෝන් කැමරාවලින් හසුකරගත් දර්ශනවල දැකගත හැකිය.

මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ 'බ්‍රොන්ක්ස්' නගරයට ඔබ්බෙන් පිහිටි 'හාර්ට්' දූපතේ ය. වසර 150 ට වැඩි කාලයක් පුරා නිලධාරීන් මෙම ප්‍රදේශය යොදාගෙන තිබුණේ ඥාතීන් නොමැති පුද්ගලයන් හෝ අවමංගල්‍ය කටයුතු සඳහා වියදම් දැරිය නොහැකි පවුල් සඳහා වූ සමූහ සුසාන භූමියක් ලෙසිනි.

Drone pictures show bodies being buried on New York's Hart Island

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සතියේ එක් දිනක පමණක් සිදු වූ භූමදාන කටයුතු, වසංගතය මධ්‍යයේ සතියේ දින පහක් දක්වා වේගවත් වී ඇති බව විශෝධන දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් මෙම කාර්යයේ නිරත වන්නේ 'රිකර්ස්' දූපතේ රඳවා සිටින සිරකරුවන් වන නමුත්, මෙය වැඩ අධික තත්ත්වයක් දක්වා වර්ධනය වීමත් සමග භූමදාන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පවරා ඇත.

වසංගතය අතරතුර භූමදානය සඳහා නගරයේ පොදු සුසාන භූමිය භාවිත කළ හැකි බව මෙම සතිය මුලදී නිව් යෝර්ක් නගරයේ නගරාධිපති බිල් ද බ්ලැසියෝ සඳහන් කළේය.

"නිසැකවම අප ඉතිහාසයේ පටන් භූමදානයට භාවිත කළ ස්ථානය හාර්ට් දූපතයි," ඔහු පැවසීය.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ කොරෝනාවෛරස මරණ සංඛ්‍යාව බදාදා දින (අප්‍රේල් 8) 799 කින් ඉහළ ගිය අතර එය ඉහළ අගයක් වාර්තා වූ තෙවෙනි දිනයයි.

නමුත් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ සඳහන් කළේ නිව්යෝර්ක් රෝහල්වලට ඇතුළත් කළ කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව දෙවන දිනයටත් පහළ අගයක් ගනිමින් රෝගීන් 200ක් පමණක් ඇතුළත් කර ඇති බවය.

Mourners attend a funeral at The Green-Wood Cemetery, amid the coronavirus disease in Brooklyn, New York

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එය සමාජ දුරස්ථභාවය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන බවට ලකුණක් යැයි ඔහු පැවසීය. ඔහු මෙම වසංගතය හැඳින්වූයේ "9/11 දින අප දුටු, ඒ සමාන වූ නපුරක් එවැනිම අහම්බුවකින් සමාජය පුරා රැළි නගමින් යන නිහඬ පිපිරීමක්" ලෙසිනි.

රටපුරා මිය යා හැකි පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ නිල ප්‍රක්ෂේපණය පහත අගයක් වාර්තා කිරීමත් සමග බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 9) ඇමරිකාවට නව බලාපොරොත්තුවක් ඇතිවී තිබේ.

කොවිඩ් -19 රෝගයෙන් මියයන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාවේ අවසන් අගය "60,000 පමණ වේ" යැයි ධවල මන්දිරයේ කොරෝනාවෛරස කාර්ය සාධක බලකායේ ප්‍රධාන සාමාජිකයෙකු වන ආචාර්ය ඇන්තනි ෆෝසි බ්‍රහස්පතින්දා 'එන්බීසී නිවුස් ටුඩේ' වැඩසටහනට පැවසීය.

මාර්තු අග දී, ආචාර්ය ඇන්තනි ෆෝසි ඇස්තමේන්තු කර තිබුණේ "100,000 ත් 200,000 ත් අතර" සංඛ්‍යාවක් මිය යා හැකි බවය.

රජයේ දත්ත වලට අනුව, ඉහත සඳහන් 60,000 ප්‍රක්ෂේපණය 2019 ඔක්තෝබර් සහ 2020 මාර්තු කාලය තුළ එක්සත් ජනපදයේ සමස්ත උණ රෝගීන්ගේ මරණ සඳහා වන ඇස්තමේන්තුවට ගැලපේ.

නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් බ්‍රහස්පතින්දා අවධාරණය කළේ කොවිඩ් -19 රෝගය ඉන්ෆ්ලුවෙන්සාවට වඩා තුන් ගුණයකින් පැතිරී යන බවය.

පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග නොගතහොත් ඇමරිකානුවන් මිලියන 2.2 ක් කොරෝනාවෛරසයෙන් මිය යා හැකි බව ධවල මන්දිරය මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි.

පුද්ගලයන්ට නිවෙස්වල රැදී සිටින ලෙසට නියෝග කිරීමත් සමග ප්‍රාන්ත 42 ක අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා ඇති අතර එය එක්සත් ජනපද ආර්ථිකයට බලපා තිබේ.

Coronavirus Sri Lanka
Coronavirus Sri Lanka

බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 9) හෙළි කළ නව දත්ත මගින් පෙන්නුම් කරන්නේ විරැකියාව නිසා රජයනේ උපකාර ඉල්ලීම් අඛණ්ඩව දෙවන සතිය තුළ මිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව පසුගිය සති තුන තුළ රැකියා අහිමි වූ ඇමරිකානුවන් සංඛ්‍යාව මිලියන 16.8 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර චිකාගෝහි නිරන්තරයෙන් පැවැත්වුණ විශාල රැස්වීම් නැවැත්වීමේ අටියෙන් අප්‍රේල් 8 වෙනිදා සිට රාත්‍රී 9:00 පසු මත්පැන් අලෙවියට ඇඳිරි නීතිය පනවා තිබේ.

ඉලිනොයි ප්‍රාන්තයෙහි චිකාගෝ නගරයේ කොරෝනාවෛරස් රෝගීන්ගෙන් අඩක් සහ එහි මරණ වලින් 70% ට වැඩි ප්‍රමාණයක්ම කළු ජාතිකයින් වූ බව මෙම සතියේ සෞඛ්‍ය නිලධාරීන් පැවසීමත් සමග අප්‍රේල් 30 වෙනි දින දක්වා මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

"අපි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ බොහෝ පුද්ගලයින් සහ ව්‍යාපාර නිවසේ රැඳී සිටීමේ නියෝගය උල්ලංඝනය කර ඇති නිසා" යැයි චිකාගෝ නගරාධිපති ලෝරි ලයිට්ෆුට් පැවසීය.

අඟහරුවාදා (අප්‍රේල් 7) චිකාගෝ හි සිදු වූ ගිනි අවි භාවිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හත් දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෛරසය හේතුවෙන් අර්බුදයක් පවතින කාලය තුළ මෙය සමාව දිය නොහැකි ක්‍රියාවක් බව නගර නිලධාරීහු පැවසූහ.

"වෙඩි තැබීමකට ගොදුරු වූ අයෙකුට දෙන ලද සෑම විශේෂ ප්‍රතිකාර ඇඳක්ම යමෙකුගේ මිත්තණියට හෝ වෙනත් රෝගාබාධ ඇත්තෙකුට හෝ වසංගතය හේතුවෙන් ජීවිත අහිමිවීමේ අවදානමට ලක්ව සිටින කෙනෙකුට වෙන් වූවක් විය හැකියි," චිකාගෝ පොලිස් අධිකාරී චාලි බෙක් පැවසීය.

ලුයිසියානා, මිසිසිපි, මිචිගන්, විස්කොන්සින් සහ නිව් යෝර්ක් යන ප්‍රාන්තවල සංඛ්‍යාලේඛන මගින් ද චිකාගෝ මෙන්ම කොරොනාවෛරස් ආසාදිතයන්ගේ සමාන වාර්ගික විෂමතාව පිළිබිඹු වේ.

ඇමෙරිකානු ජනාධිපති ධුරය සඳහා බොහෝවිට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා විය හැකි බවට අනුමාන කෙරෙන ජෝ බයිඩ්න් ද, වසංගතය පිළිබඳ සවිස්තරාත්මක වාර්ගික දත්ත නිකුත් කරන ලෙස විශාල වශයෙන් කෙරෙන ඉල්ලීම් සමග අප්‍රේල් 8 වෙනිදා එක් විය.

එය අයුක්තිය මෙන්ම "ව්‍යුහාත්මක වර්ගවාදයට" එල්ලවන බලපෑම කෙරෙහි අවධානයක් යොමු වී ඇති බව ඔහු පැවසීය.

කොවිඩ් -19 සඳහා තවමත් එන්නතක් නොමැති අතර, ඇමරිකාවේ සංස්කෘතික ගැටුම්ද ඒ හා සමානව සුව කළ නොහැකි බව ඔප්පු වී තිබේ.

වසංගතය අතරතුර ගිනි අවි අලෙවිසල් වසා දැමිය යුතුද යන්න සහ විශාල රැස්වීම් තහනම් කළ රජයේ නියෝගවලින් ආගමික මෙහෙයන් නිදහස් කළ යුතුද යන්න පිළිබඳවද නීතිමය ගැටුම් ද සිදුවෙමින් පවතී.