වසර මිලියන 99ක් පැරණි කුඩාම කුරුළු පොසිලය මියන්මාරයෙන් හමුවෙයි

ඩයිනසෝර් පොසිල

ඡායාරූප මූලාශ්‍රය, LIDA XING

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ පොසිලය හමු වී තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයකිනි

දැනට හමුවී ඇති කුඩාම 'ඩයනසෝර්' පොසිලය හමු වූ බව විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති.

එම ව්‍යාපෘතියට හවුල් වූ කණ්ඩායමේ විද්‍යාඥවරියක් විසින් නව සොයාගැනීම හඳුන්වනු ලැබ තිබෙන්නේ 'එය තමා මෙතෙක් සම්බන්ධ කැනීම්වල දී හමු වූ අරුම පුදුම පොසිලය," හැටියටය.

මේ පොසිලය හමු වී තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයකිනි.

දුම්මල විශේෂයක් අතරින් හමු වී ඇති කහ පැහැයට හුරු එම පොසිල ආදර්ශය කුරුල්ලකුගේ හිසක හැඩයෙන් යුක්ත අතර, එය වසර මිලියන අනූ නවයක්(99) තරම් පැරණි එකකැයි පැවසෙයි.

එම සොයාගැනීම සම්බන්ධයෙන් 'නේචර්' (Nature) සඟරාවට ලිපියක් සම්පාදනය කරන පර්යේෂකයෝ තමන්ට හමු වූ පොසිලය දැනට ජීවමාන කුඩාම පක්ෂියා වන 'හමින්' කුරුල්ලා (hummingbird) තරමේ වූවකැයි සඳහන් කොට ඇත.

මෙම අපූරු සොයාගැනීම මගින් දැවැන්ත ඩයනසෝරයන් කුඩා කුරුල්ලන් තෙක් පරිණාමය වුණේ කෙලෙසද? යන්න පැහැදිලි කර ගැනීමට ද ආලෝකයක් සපයනු ඇතැයි ද සැලකෙයි.

මේවනවිට සොයාගනු ලැබ ඇති කුඩාම ඩයනසෝරයන් 'Microraptor' පක්ෂීන් මෙන් ග්‍රෑම් සිය ගණනක් බරින් යුක්ත අතර 'හමින්' කුරුල්ලකුගේ (hummingbird) බර ග්‍රෑම් දෙකක් පමණි.

පොසීල .මියන්මාර්

ඡායාරූප මූලාශ්‍රය, LI GANG

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම පොසිල හිසෙහි දිව ආරක්ෂාවීම ජීව විද්‍යාත්මක ඉදිරි හැදෑරීම්වලට උපකාරී වනු ඇතැයි සැලකෙයි

"ඉතා කුඩා ශරීර සහිත සත්වයන්ට සුවිශේෂී ගැටලු සමඟ කටයුතු කරන්න සිදු වෙනවා. එක ප්‍රශ්නයක් තමයි- සියලුම සංවේදී ඉන්ද්‍රියයන් ඉතාම කුඩා හිසකට සම්බන්ධ වෙන්නේ කොහොමද? කියන කාරණය. එහෙමත් නැත්නම් ශරීර උෂ්ණත්වය පවත්වා ගන්නේ කොහොමද? කියන කාරණය," බේජිං නගරයේ පිහිටි චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය ජින්ග්මායි ඕ'කොනර් (Prof Jingmai O'Connor) පවසයි.

'Oculudentavis khaungraae' යනුවෙන් නම් කරනු ලැබ ඇති නව සත්ව පොසිලය ඉතා අසාමාන්‍ය ආකාරයට ඉහත කී සියලු අභියෝගවලට මුහුණ දෙන්නට ඇති බවක් දක්නට ලැබෙයි.

උදාහරණයක් වශයෙන් එම කුරුලු ඇසේ තරම සහ එහි හැඩය විද්‍යාඥයන් විස්මයට පත් කිරීමට හේතු විය.

පක්‍ෂී සිරුර අස්ථි වළල්ලකින් යුක්ත වෙයි. එම අස්ථි පටලය ඇසෙහි ආධාරකයට උදව් කෙරෙයි. බොහෝ කුරුල්ලන්ගේ වෙන් වෙන් අස්ථි ඉතා සරල ව්‍යුහයක් වන අතර ඒවා පැහැදිලිව හතරැස් වූවකි.

එහෙත් 'Oculudentavis khaungraae' පොසිලයට අයත් අස්ථි 'හැන්දක' හැඩය ගනු ලබන අතර, ඒවා සමාන වන්නේ කලින් සොයා ගන්නා ලද ඇතැම් ජීවමාන උරගවර්ග සමඟ පමණි.

එම ඇසෙහි අස්ථි බස්සෙකුගේ ඇසෙහි අස්ථි මෙන් කේතුවක හැඩය ගනියි. ඩයනසෝරයන්ට ඉතා ඉහල මට්ටමේ පෙනුමක් පැවති බවක් එමගින් පෙන්නුම් කෙරෙයි.

බස්සන්ට වෙනස්ව යමින් එම ඇස් සිරුරේ හිසෙහි පැතිවලට බර වෙන්නට පිහිටා ඇති අතර, අස්ථි කේන්ද්‍රය පටු ස්වභාවයක් ගනියි.

පොසීල .මියන්මාර්

ඡායාරූප මූලාශ්‍රය, HANG ZHIXIN

ඡායාරූප ශීර්ෂ වැකිය, කුරුල්ලාගේ දත් මෙසේ පිහිටා තිබෙන්නට ඇති සැලකෙයි

එමගින් සිදු කෙරෙන්නට ඇත්තේ ඇසට පතිත වෙන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමක් විය හැක. එමගින් සැපයෙන්නේ 'Oculudentavis khaungraae' දිවා කාලයේ හොඳින් ක්‍රියාත්මක වූ බවට සාක්ෂියකි.

ඉහත කී කරුණුවලට අතිරේකව, මේ ජීවියාගේ ඇස් ඔහුගේ හිසෙන් පිටතට නෙරා ඇත. එවැනි පිහිටීමක් ජීවමන වෙනත් සතුන් අතර දක්නට නොමැත. එම පිහිටීම නිසා ඒවා ක්‍රියාත්මක වූ ආකාරය තේරුම් ගැනීම දුෂ්කර කරයි.

"මට හදාරන්න ලැබුණ ඉතාම අපූරු පොසිලය මෙයයි," මහාචාර්ය ජින්ග්මායි ඕ'කොනර් (Prof Jingmai O'Connor) සඳහන් කළේය.

"සොබාදහමේ තෝරාගැනීම් වන මෙවැනි විස්මිත විකාරරූපී නිර්මාණවලට මම කැමතියි. අවුරුදු මිලියන 99 ක් එය ආරක්ෂා වී තිබීම විශාල වාසනාවක්," මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

සොයාගනු ලැබ ඇති පොසිලයේ ඉතිරිව පවතින්නේ හිස කොටස පමණි. එබැවින් එය පක්ෂීන්ට සම්බන්ධ වී තිබුණ ආකාරය අපැහැදිලි ය. එම පොසීල ශීර්ෂයේ ඇතැම් කොටස් ඩයනසෝරයන්ට සමාන බවක් ගනී. එසේම එහි තවත් කොටස් ඉතා දියුණු පක්‍ෂීන්ට සමාන වෙයි.

සොයාගනු ලැබ ඇති පොසිල හිස් කබලෙහි ඇතැම් මෘදු පටක පවා සුරක්ෂිතව පවතී. විශේෂයෙන්ම එහි මුඛයේ දිව ඉතිරිව ඇති අතර, එය ජීව විද්‍යාවේ වැඩිදුර හැදෑරීම් සඳහා විශාල පිටිවහලක් වීමට ඉඩකඩ සපයයි.

පොසීල

ඡායාරූප මූලාශ්‍රය, HANG ZHIXIN

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ සොයාගැනීම මගින් ඩයනසෝර් යුගයේ ඝර්ම කලාපීය වනාන්තරයක ජීවත් වුන ඉතා කුඩා සතුන් පිළිබඳව චිත්‍රයක් නිර්මාණය කෙරෙනවා"

"දුම්මල අතර මේ කුඩා ජීවියාගේ පොසිලය ආරක්ෂාවීම වාසනාවක්. මෙතරම් කුඩා, එසේම විනාශ වී යාමට බොහෝ ඉඩකඩ සහිත ජීවීන් පොසිල මට්ටමින් හමුවීම අසාමාන්‍ය දෙයක්," ලොස් ඇන්ජලීස්හි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ලුවිස් චියප්පේ (Dr Luis Chiappe) පවසයි.

"මේ සොයා ගැනීම පුදුම සහගතයි. මොකද? එමගින් ඩයනසෝර් යුගයේ ඝර්ම කලාපීය වනාන්තරයක ජීවත් වුන ඉතා කුඩා සතුන් පිළිබඳව චිත්‍රයක් නිර්මාණය කෙරෙනවා," ආචාර්ය ලුවිස් චියප්පේ (Dr Luis Chiappe) වැඩිදුරටත් සඳහන් කළේය.

කියවන්න: