චෙන්නායි ජල අර්බුදය: නිවෙස්වලට ජලය නැහැ - අවන්හල් වසා දැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රධාන ජලාශ හතරක් සිඳී යාම නිසා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා ඇත.
ජල හිඟය හේතුවෙන් මහජනතාව දැඩි අපහසු තත්ත්වයකට මුහුණ දී සිටින අතර, ඉක්මන් විසඳුමක් ලෙස නොයෙක් ස්ථානවල කැණීම් සිදු කර නළ ළිං සවි කිරීමට කටයුතු කර තිබේ.
ජලය හිඟ වීම නිසා නගරය පුරා ඇති අවන්හල් වසා දමා ඇති අතර, රජයෙන් සපයන ජල ටැංකි ඉදිරියේ ඇති පෝලිම්වල පැය ගණනක් සිටිය යුතු බව නගර වැසියෝ පවසති.
"වැස්සට විතරයි පුළුවන් 'චෙන්නායි' මේ තත්ත්වයෙන් බේරා ගන්න," චෙන්නායිහි නිලධාරියෙක් බීබීසී දෙමළ සේවයට පැවසීය.
2011 වසරේ සිදු කළ සංගණනයට අනුව ඉන්දියාවේ 6 වන විශාලතම නගරය වන 'චෙන්නායි' දැනට සති කිහිපයක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ දී ඇත.
ජලාශ සිඳී යමින් තිබෙන විට නගරයේ තිබෙන හෝටල් සහ අවන්හල් එකින් එක තාවකාලිකව වසා දැමිණි. චෙන්නායි දුම්රිය ස්ථානවල වායු සමීකරණ නවතා දමා ඇති අතර, ජලය රැක ගැනීමේ පියවරක් ලෙස කාර්යාල සේවකයන්ට නිවෙස්වල සිට රැකියාවේ නිරත වන ලෙසට බොහෝ සමාගම් උපදෙස් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සේවකයන්ට නිවෙස්වල සිට රැකියාවේ නිරත වන ලෙස සමහර සමාගම් පවසා ඇති බව තොරතුරු තාක්ෂණ සේවක සංගමයේ ලේකම් විනෝත් කලිගායි තහවුරු කර සිටියේය.
"නමුත්, නිවෙස්වලත් වතුර නැති වේගන යනවා, ඉතින් දැන් අපි මොක ද කරන්නේ?," ඔහු තවදුරටත් පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් අතර ගැටුම් ඇති වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ජලය බෙදා ගත නොහැකිව සිය අසල්වැසියාට පිහි පහර එල්ල කළ පුද්ගලයෙකු පසුගිය සතියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ තොරතුරු ද කියවන්න:
ජලය ලබා ගැනීමේ විකල්ප ක්‍රම සෙවීමට අදාළ දෙපාර්තමේන්තු ක්‍රියා කරමින් සිටින අතර, ගල්වලවල් ආශ්‍රිතව පවතින උල්පත් කිහිපයක් හඳුනාගැනීම ආරම්භ කර ඇති බව නිලධාරීහු පවසති.
නමුත්, සිඳී ගිය ජලාශ සහ භූගත ජලය අවම මට්ටමක පැවතීම ගැන දැඩි අවධානයක් යොමුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මෙයට තිබෙන හොඳ ම විසඳුම භූගත වතුර මට්ටම ඉහළ නැංවීමට ක්‍රියා කිරීම. අපි මේ වගේ වියළි කාලගුණයකට මින් පෙර අවුරුදුවලත් මුහුණ දීලා තිබෙනවා, හැබැයි ඒ වෙලාවේදී අපේ ගැලවුම්කරුවා වුණේ භූගත වතුර," යැයි සමාජ ක්‍රියාකරුවෙකු වන නක්කීරාන් පැවසීය.
මෙම අර්බුදය හේතු කොටගෙන නගර වැසියන්ට සම්පූර්ණයෙන් ම රජයේ ජල සැපයුම් දෙපාර්තමේන්තුව මත යැපීමට සිදුව තිබේ. එම දෙපාර්තමේන්තුව මගින් රජයට අයත් ජල බවුසර හරහා නගරය පුරා ජලය බෙදා හැරීමට කටයුතු කරමින් සිටී.
"විනාශ වීම දැන් ආරම්භ වෙලා තිබෙනවා. මේ අවුරුද්දෙත් වැස්ස වැටුණේ නැත්නම්, අපි සම්පූර්ණයෙන් විනාශ වෙනවා," යැයි නිලධාරියෙකු පැවසුවේය.








