මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයට වතුර කෝච්චියක්

ඡායාරූප මූලාශ්‍රය,

වතුර ලීටර ලක්ෂ පහක ප්‍රමාණයක් රැගත් දුම්රියක් ඉන්දියාවේ දැඩි නියන් තත්වයට මුහුණ දී සිටින බටහිර මහාරාෂ්ට්‍රා ප්‍රාන්තය වෙනුවෙන් යැවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ලාතුර් දිස්ත්‍රික්කයට වතුර පිරවූ බවුසර දහයක් ආඳන ලද දුම්රිය මේ වන විට ලඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ දුම්රිය සේවා අමාත්‍ය සුරේෂ් ප්‍රභූ කියා සිටියේ තෙල් වර්ග ප්‍රවාහනයට යොදා ගත් බවුසර ආඳන ලද දුම්රියක ටැංකි හුමාලය යොදා ගෙන පිරිසිදු කිරීමෙන් පසු මෙලෙස ජලය ප්‍රවාහනයට යොදා ගත් බවයි.

ඡායාරූප මූලාශ්‍රය,

ඉතා දරුණු ලෙස නියඟයට හසුව තිබෙන මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල ජලාශ සම්පුර්ණයෙන්ම වාගේ හිදී ගොස් තිබෙන අතර ජනතාවට බීමට ජලය ලබා දීම් සිදු කෙරෙන්නේ දින 10කට හෝ12කට වරක් බවයි වාර්තා වෙන්නේ.

ජලය ඉතා හිඟ බැවින් ගැටුම් කාරී තත්වයක් ඇතිවීම වළක්වනු පිණිස ලාතුරැ ප්‍රදේශ වාසීන්ට ජල බවුසර අසලට රැස්වීම තහනම් කරමින් නීති පනවා ඇති අතර බලධාරීන් උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩකාරී තත්වය ඇති වීමට ඉඩ නොතබා සාධාරණ ලෙස ජලය බෙදා හැරීමටයි.

ජලය ප්‍රවාහනය කිරීමට යොදා ගෙන ඇති දුම්රිය වලට ආඳා තිබෙන එක ජල බවුසරයක වතුර ලීටර පනස්හතර දහසක් ගෙන යාමට හැකියාව පවතියි.