"අගමැතිට ජනාධිපතිට පෙනෙනවා නම්, වතුර නැතුව ජීවත් වෙන හැටි"

ඡායාරූප මූලාශ්‍රය, BBC
"අනේ කවුරු හරි ඉන්නවා නම්, උඩ ඉන්න දෙවියන්ට පෙනෙනවා නම්, නැත්නම් ඔය අගමැතිට ජනාධිපතිට පෙනෙනවා නම්, වතුර නැතුව ජීවත් වෙන හැටි."
වවුනියාව සැළලිහිණිගම පදිංචි එච් එම් සේපාලිකා වික්‍රමසිංහ තම දුක්ගැනවිල්ල බීබීසී සිංහල සේවයට කියා පෑවේ එම වචනවලිනි.
"දැන් අපට මාස හය හතක් පායනවා. වතුර පොදක් නෑ පොළොවට වතුර පොදක් වැටුණත් ඒක වේළිලා යනවා. අපිත් ඒ විදියට වේළිලා. අපිට කන්න නෑ. බොන්න නෑ. දැන් අර වැව්වලත් වතුර හිඳිලා." ඇය තවදුරටත් පැවසුවාය.
පවතින නියඟය හේතුවෙන් මේ වන විට උතුරු පළාතේ පවුල් 47,000කට අධික ප්‍රමාණයකට අයත් පුද්ගලයන් එක් ලක්‍ෂ පනස් දහසකට අධික පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙයි.
"අපි වේළි වේළි ජීවත් වෙනවා. බෙහෙත් ටිකක් ගන්න ගියහම දොස්තර කියනවා කන්න නැති හින්දා බෙහෙත් බොන්න එපා කියලා. කලන්තේ හැදිලා වැටෙනවා. මැරෙන තත්ත්වයට පත් වෙලා. අපේ මනුස්සයෝ ජීවත් වෙන්නේ කොහොම ද? වකුගඩු රෝගයෙනුත් දුක් විඳිනවා." සැළලිහිණිගම එච් එම් සේපාලිකා තවදුරටත් විස්තර කළේ ඇය ජීවත් වන ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති තත්ත්වයයි.
නියඟය හේතුවෙන් පීඩාවට ලක්ව සිටින ජනතාව වෙත අවශ්‍ය සහන සේවා ලබා දීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සාකච්ඡා කර ඇති බව මන්නාරම, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය භාර නිලධාරීහු පැවසූහ.

උතුරු පළාතේ මුලතිව්, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක හතර ම මෙම නියඟයට ගොදුරු වී ඇත.
ආපදා කළමනාකරණ දත්ත වාර්තා අනුව උතුරු පළාතේ වැඩි ම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කය තුළ ය.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ පවුල් 16,000කට අධික ප්‍රමාණයකට අයත් පුද්ගලයින් 56,000කට අධික පිරිසක් පීඩාවට ලක්ව සිටිති.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් කියා සිටියේ තම දිස්ත්‍රික්කය තුළ 12,000කට අධික පිරිසක් නියඟයෙන් පීඩා විඳින බවය.
සේපාලිකා වික්‍රමසිංහ තවදුරටත් කියා සිටියේ, "ගහක කොළක ගෙඩියක් නෑ. ඔක්කෝම වැටිලා පෑවිල්ල වැඩි කමට. ගස්වල ගෙඩි වේළි වේළි වැටෙනවා පායන පෑවිල්ලට. අපි ගෙඩියක් හරි විකුණලා ජීවත් වුණේ. දැන් ඒකත් නෑ. අපිට දැන් වගාවක් නැති නිසා බඩගින්න කියන එක උහුලන්න බෑ. කිරි ටිකක් ඉල්ලන කොට දරුවෙකුට දීගන්න විදියක් නෑ. අපිට කියන්න කෙනෙක් නෑ." යනුවෙනි.

"කිසි ම මැති ඇමති කෙනෙක් ඇවිල්ල අහන්නේ නෑ. උඹලා කෑව ද, උඹලා මොක ද කරන්නේ කියලා. ඇයි දෙයියනේ අපිට කියන්න කෙනෙක් නැද්ද. මේක හැම දා ම මෙහෙම තමයි. වතුර නැතුව අපි විඳින දුක කියලා නිමක් නෑ."
යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වී සිටින පිරිස 46,000කට අධික ය. එය පවුල් වශයෙන් ගත කළ 14,000කට ආසන්න ය.
මුලතිව් දිස්ත්‍රික්කය තුළ පවුල් දහතුන් දහසකට ආසන්න සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් හතලිස් දහසකට අධික පිරිසක් පීඩාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ දත්ත වාර්තා සඳහන් කරයි.
පවුල් 5000කට ආසන්න සංඛ්‍යාවක් කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ද පීඩා විඳිමින් සිටිති. පුද්ගලයින් ලෙස ගත් කළ එය 16,000කට අධික ය.
පවතින නියඟය හේතුවෙන් මේ වන විට උතුරු පළාතේ පවුල් 47561කට අයත් පුද්ගලයින් 159131 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

පවතින නියඟය හේතුවෙන් මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ 12 000 කට වඩා වැඩි පිරිසක් පීඩාවට ලක්ව සිටින බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන්ගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළාය.
ආපදා කළමනාකරණ දත්ත වාර්තා අනුව උතුරු පළාතේ වැඩි ම පිරිසක් මන්නාරම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති අතර, දිස්ත්‍රික්කය තුළ පවුල් 16243 කට අයත් පුද්ගලයන් 56324 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට අයත් පවුල් 13768 කට අයත් පුද්ගලයන් 46036 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කය තුළ පවුල් 12766 කට අයත් පුද්ගලයන් 40093 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවත් ආපදා කළමනාකරණ දත්ත වාර්තා සදහන් කරයි.
උතුරු පළාතට අයත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාව ද නියඟයෙන් පීඩාවට පත්ව සිටින අතර, දිස්ත්‍රික්කය තුළ පවුල් 4745 කට අයත් පුද්ගලයන් 16573 ක් පීඩාවට ලක්ව ඇත.
නියඟය හේතුවෙන් පීඩාවට ලක්ව සිටින ජනතාව වෙත අවශ්‍ය සහන සේවා ලබා දීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සාකච්ජා කර ඇති බව මන්නාරම,වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන භාර නිලධාරීහු පැවසූහ.








