සැළලිහිණිගම: "අපි ගැන බලන්න කවුරුවත් නෑ"

"අපි ගැන බලන්න කවුරුත් නෑ"

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති ගැටුම් නිමා වී දශකයකට ආසන්න කාලයක් ගත වී ගොසිනි.

ගැටුම්වලින් බැට කෑ ජනතාව තවමත් විටින් විට සිය ගම් පෙදෙස් බලා පැමිණෙමින් සිටින්නේ සිය ජීවිත නැවත ඇරඹීමේ චේතනාවෙනි.

වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි සැළලිහිණිගම, එසේ ජනතාව නැවත පදිංචි වූ ගම්මානයකි.

තමන් පදිංචි වූ පසු, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වූ බව මෙම ජනතාව පවසති.

නමුත් පසුගිය දා, සැළලිහිණිගමට ගිය බීබීසී සිංහල සේවයට දක්නට ලැබුණේ එදිනෙදා ජීවිත ගැටලු සමග පොර බදන ගම්මුන් පිරිසකි.

"අපි ගැන බලන්න කවුරුත් නෑ"
ඡායාරූප ශීර්ෂ වැකිය, ජල ගැටලුව

ගම්වාසීන් ගෙන් බහුතරයකට ස්ථීර රැකියා නැත. ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. බොහෝ නිවාස සාදා ඇත්තේ කටුමැටිවලිනි.

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මානෙල් දිසානායක පැවසුවේ සිය ජීවිත ද අනාරක්ෂිත බවය.

"අපි ගමට ආවේ 2012 නොවැම්බර් මාසයේ. මේ දක්වා අපිට ගෙයක් නෑ. ටොයිලට් එකක් නෑ. රෑට ගෙදර ඉන්න බෑ සත්තු එනවා. අපිට වගාවක් කර ගන්න බෑ හරියට වතුර නෑ."

වර්තමානයේ මෙම ගම්මානයේ පවුල් 560ක් ජීවත් වෙති.

පසුගිය පළාත් පාලන මැතිවරණය පාදක කර පැවති සීමා නිර්ණයෙන් පසු ගම්වාසීහු තවත් ප්‍රශ්නයකට මුහුණ දී සිටිති. එනම් ඔවුන්ගේ ගමේ පාලනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් අතරේ බෙදී යාමය.

බොහෝ නිවෙස් සාදා ඇත්තේ කටුමැටියෙනි
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ නිවෙස් සාදා ඇත්තේ කටුමැටියෙනි

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ චමිලා තරංගනී.

"මම 2013 මෙහේ පදිංචියට ආවේ. එක ම ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාසයක් යටතේ තමයි මේ ගම්මාන දියුණු කිරීමේ වැඩකටයුතු කරගෙන ගියේ. ඡන්දයත් එක්ක සීමා නීර්ණය ඇවිල්ලා වවුනියාව දකුණ හා වවුනියාව උතුර කියලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට ගම බෙදලා. සීමා නීර්ණය නිසා අපේ ගම්මානවල දියුණුව අඩාළ වෙලා," යනුවෙන් කියා සිටියාය.

වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ පවුල් 371ක් ද වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ පවුල් 188ක් ද ජීවත් වෙති.

මෙම ගම්මානයට ආසන්න ම පාසල පිහිටා ඇත්තේ කච්චකොඩිය නම් ප්‍රදේශයේය.

එසේ ම ගමට හරියාකාර රෝහලක් ද නැත.

"අපි ගැන බලන්න කවුරුවත් නෑ"

දමයන්ති හේමලතා ද සැළලිහිණිගම නැවත පදිංචි වූ තැනැත්තියකි.

"අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. අපිට රැකියා මොකක්වත් නෑහැ. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා කච්චකොඩිය ඉස්කෝලේ. මාසයකට රුපියල් දෙදාහක් ඕනේ ළමයෙක් ඉස්කෝලේ යවන්න."

"මන්ත්‍රීලා ආවත් අපිට හැම දේ ම දෙනවා කියලා යනවා. ජල ප්‍රශ්නය තියෙනවා. අපිට බොන වතුර තමයි ලොකු ම ගැටලුවක් වෙලා තිබෙන්නේ. අපි බොන්න වතුර ලීටරයක් ගන්නේ රුපියල් තුනකට. ඉතින් වතුර ලීටරයකට රුපියල් තුනක් වියදම් කරන්න අමාරුයි."

"අපි ගැන බලන්න කවුරුවත් නෑ"
ඡායාරූප ශීර්ෂ වැකිය, ජල ගැටලුවෙන් බැටකන ගම් වාසීන්

මෙම ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි එම් හනීෆාගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ විට ඔහු පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ජා කරන බවය.

කියවන්න: