ඉන්දියාව: වනය අත්හැර නොයන ගෝත්‍රික නායකයෙකු නිසා ලතැවෙන පවුලක්

"මේ කැළය තමයි මගේ ගෙදර. මම කැමති නැහැ මෙතනින් යන්න. මම ඉපදුණේ මෙතැන, මැරෙන්නෙත් මෙතැන," එසේ පවසන්නේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වනාන්තරගතව වෙසෙන දඩයම් ගෝත්‍රයක නායකයා ය.
'චෝලා නයිකා' නමැති එම ගෝත්‍රයේ නායකයා වන්නේ, චෙරියා වෙලූතා ය.
මෑතකදී කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් හේතුවෙන් වනාන්තරගතව වෙසෙන ගෝත්‍රික ජනතාවට දරුණු බලපෑම් එල්ල විය.
එම ජලගැලීම්වලින් පසුව රජයේ දැනුම් දීම මත එම ගෝත්‍රයේ සාමාජිකයින් බොහෝ දෙනෙකු සහන කඳවුරු වෙත ගොස් තිබේ.
එහෙත්, වෙලූතා සිය පවුලේ සාමාජිකයින් සමග සහන කඳවුරු වෙත යාම දැඩිව ප්‍රතික්ෂේප කරයි.

මේ ගැනත් දැනගන්න:
"අපට ඉඩම් දීල සියලු උපකාර කරන්න රජය පොරොන්දු වෙලා තියෙනවා. ඒත් ඒකට මම කැමති නැහැ. මේ කන්ද කඩාගෙන වැටුණත් මම මගේ භූමිය අත්හැරල යන්නෙ නැහැ. මට මේක දාල යන්න බැහැ," බීබීසී පුවත් සේවය සමග වෙලූතා පැවසීය.
චේරියා වෙලූතා නායකත්වය දෙන චෝලා නයිකා ගෝත්‍රිකයින් වාසය කරනුයේ, කේරළයට අයත් මෙප්පඩි වනාන්තරයේ ය.
එම වනාන්තරයේ පහත් බිම් රැසක් මෑතකදී සිදුවූ ජලගැලීම්වලින් යටවූ අතර ගෝත්‍රික වැසියන් විශාල පිරිසක් ඉන් පීඩාවට පත් වූහ.
"මේ කැළය තමයි මගේ ගෙදර. මම කැමති නැහැ මෙතනින් යන්න. මම ඉපදුණේ මෙතැන, මැරෙන්නෙත් මෙතැන. මොන ප්‍රශ්නය ආවත් මේ වනාන්තරය මාව රැක බලා ගන්නවා. මම කිසි දේකට බය වෙන්නෙ නෑ."

වෙලූතා දැඩි ස්වරයෙන් මෙසේ පැවසුව ද, යහපත් ජීවිතයක් වෙනුවෙන් වනාන්තරය අත්හැර යාමට වෙලූතාගේ දියණිය තීරණය කර තිබේ.
වෙලූතාගේ දියණියක වන 'මිනි' බීබීසී පුවත් සේවයට පැවසුවේ, "මගේ දෙමව්පියෝ මේ වනාන්තරේ ජීවත් වෙන්නේ ගොඩක් කරදර මැද්දේ. ඒත්, ඒ වගේ ජීවිතයක් ගත කරන්න මට අවශ්‍ය නැහැ," යනුවෙනි.

"මම රජයට කියන්නේ, අපිට හොඳට කන්න ඕන. අපිටත් අපේ දරුවන්ටත් නිරෝගී ජීවිතයක් ඕන කියන එකයි" ඇය අවධාරණය කළා ය.
'චෝලා නයිකා' ගෝත්‍රයට අයත් සමස්ත සාමාජිකයින් සංඛ්‍යාව 124 දෙනෙකි.
සබැඳි පුවත්:











