"අනිත් ජාතීන් මහ ජාතියට ගරු කරන්න ඕන, මහ ජාතිය අනිත් ජාතීන්ට ගරු කරන්න ඕන"
"එකාට එකා දොස් කියා ගන්නවාට" වෙනුවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඇතුළු හැමදෙනා එකතුව ඒවා බේරුම්කර ගන්නා අයුරු සාකච්ඡා කර ඉදිරි කාලයෙහි කලහකාරී තත්වයක් ඇති නොවන්නට විසඳුමක් සොයා ගත යුතු බව ශ්‍රී ලංකාවේ වැදි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.
වන්නියලැත්තෝ එම ඉල්ලීම කළේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
"රටේ කණ්ඩායම් දෙකක් බෙදිල ගැටලුවක් මතුකර ගෙන තියෙනව. මේ රටේ ජීවත්වෙන මිනිසුන් හැටියට හැම දෙනාම මේ වෙලාවේ තේරුම් ගන්න උවමනායි - ආගම, ජාතිය හැටියට බෙදීමක් ඇතිකර ගෙන තුවාල සිදුකර ගෙන, ගිනිතියා ගෙන, ප්‍රශ්න විසඳගන්න අමාරු බව. මේ හැමෝටම වෙලා තියෙන්නෙ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව, ආශාව කියන දේවල පැටලී සිටීම. මේ හැම දෙනාම සමගියෙන් සාමදානයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන," ඌරුවරිගේ වන්නියලැත්තෝ පෙන්වා දෙයි.
තවත් කියවන්න:
බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට තුන් වාරයක් වැඩම කර ඇතැයි සඳහන් කරන වැදි නායකයා "ඒ වගේ රටකට මෙවන් ලේ වැගිරීමක් කලහකාරී තත්වයක් සුදුසු නැතැයි," ප්‍රකාශ කළේය.
"අපර ගත්තොත් චාරිත්‍ර වාරිත්‍ර අතින්, ආගම ධර්මය අතින් ලෝකයේ ඉහළින් තියෙන රටක්. ඒ වගේ රටක මේ වගේ සිද්ධීන් ඇති වන එක හොඳ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් කුලභේද ජාතිභේද ගැන කතා කරනව. හැබැයි මේ කතා කරන හැම කෙනෙක්ම එකතු කරල ඔවුන්ගේ ඇඟ හීරුවොත් හැම කෙනාගෙන්ම ගලන්නෙ එකම රතු ලේ," උරුවරිගේ වන්නියලැත්තෝ පෙන්වා දෙයි.

ජාති හැටියට බෙදෙන්නෙ කොහොමද ?
"මේ හැමෝම හිතාගන්න ඕන - ඔය අයගෙ තියෙන්නෙත් රතු ලේ, මට තියෙන්නෙත් රතු ලේ කියල. එහෙනම් මේ අය ජාතීන් විදිහට බෙදිල කලකෝලාහල ඇති කරගන්නවට වැඩිය මේ දේවල් හිතාගෙන තේරුම් අරගෙන ප්‍රශ්න විසඳ ගන්න කටයුතු කරගන්න ඕන නේද?" වැදි නායකයා ශ්‍රී ලංකා ජන සමාජයෙන් ප්‍රශ්න කළේය.
"මේ ශ්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. අවුරුදු දහස් ගණනක් විවිධ ජාතීන් මේ රටේ ජීවත් වෙනව. ජාති, වර්ග, පරම්පරා ඉන්නව. මේ හැම කෙනෙක්ම හිතේ තියාගන්න ඕන- මහජාතිය කියල කතා කරනවනම්, අනිත් ජාතීන් මහජාතියට ගරු කරන්න ඕන. ඒ වගේම මහජාතිය අනික් ජාතීන්ට අයිති මිනිසුන්ටත් ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ඒ වගේ දේවල් ඇති කර ගත්තොත් තමා මේ රටේ ඉදිරි ගමනක් ඇති වන්නෙ. එහෙම උනොත් තමා රටේ කලකෝලාහල,ලේ වැගිරීම් නැති වෙන්නෙ කියල මට විශ්වාසයක් තියෙනවා. එහෙම වුනොත් ලේ වැගිරීම් මිනිසුන් මියයාම් ඇතිවෙන්නෙ නැහැ. ඒ නිසා හැමදෙනාම හැමෝටම ගරු කරන්න හිතා ගත්තොත් හොඳයි," ඌරුවරිගේ වන්නියලැත්තෝ පෙන්වා දෙයි.
"මේ වෙලාවෙ ඇවිළෙන ගින්නට පිදුරු දැමීම නොව හැමෝම සමගියෙන් සාමදානයෙන් ඉන්නවනම් හොඳයි කියල මම හිතනවා," ආදිවාසි නායකයා පවසයි.
දේශපාලකයන් මැතිවරණ කාලවලදී දේශපාලන පක්ෂ වශයෙන් බෙදී කටයුතු කළත්, මෙවැනි ගැටුම්කාරී අවස්ථාවන්හි දී හැම කෙනෙක්ම එකට එකතු විය යුතු බවත් ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආදි වාසි නායකයා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.
"මේ රටේ වෙලා තියෙන එක දෙයක් තමයි - රට තුළ මොන ගැටලුවක් ආවත් ඒ ගැන එකිනෙකාට දොස් කියා ගන්න එක. මේ හැමෝටම මතක තියෙනවද? වසර තිහක යුද්දේ. ජනතාව දුක් වින්ද. බියවෙලා හිටිය. කඳුළු වැගිරුවා. ජීවිත නැති උනා. වස්තුව නැති උනා. ඒවා අමතක වෙලා දැන් එකිනෙකාට දොස් කියා ගන්නව. චෝදනා කර ගන්නව. ඒ දේවල් අද දවසෙ මතකයට ගන්න ඕන. මේ රටේ ඉන්න ආණ්ඩු නායකයොත්, ආගම් වල නායකයොත් හොඳ තීරණයකට එන එක තමයි මගේ බලාපොරොත්තුව" ආදිවාසී නායක තුමා අවධාරණය කළේය.
කුණු කන්දෙන් පාඩම්
"දැන් බලන්න කොළඹ රටේ කොලොන්නාවේ කුණු කන්දක් කඩා වැටිල මිනිසුන් විශාල ගණනක් මැරුණා. වස්තුව දේපළ නැති උනා. නමුත් මිනිසුන් මිය ගිය එක ගැන හෝ දේපළ වස්තුව ආදිය නැතිවෙච්ච එක ගැන නෙමේ දොස් කියා ගත්තෙ. අර ආණ්ඩුවේ-මේ ආණ්ඩුවෙ වැරදි නිසයි මෙහෙම උනේ කිය කියා එකිනෙකාට චෝදනා කර ගත්ත. ගංවතුරක් ගැලුව. එතැනදිත් අර විධියටම දොස් කියා ගත්ත. මේ වගේ දොස් කියා ගන්න එක-චෝදනා කර ගන්න එක නොවෙයි කරන්න තියෙන්නෙ .මේ දේවල් වලට හේතු තියෙනව. ඒ හේතුව හොයාගෙන කට්ටියම සමගි වෙලා - එකමුතු වෙලා සමාදානය ඇති කරන එක තමයි අවශ්‍ය කරන්නේ. ඇත්ත වශයෙන්ම මම දුක් වෙනව- මේ රටේ ජීවත්වෙන මිනිස්සු හැටියට මේ වගේ බෙදීමක් ඇති කරගෙන- එකිනෙකාට දොස් කිය කියා ඉන්න එක ගැන. මට හරිම කනගාටුයි."
"මේ රටේ සිංහල ,දෙමළ ,මුස්ලිම් ජාතීන් වගේ තවත් ජාතීන් ඉන්නව. මේ අය සේරම සාකච්ඡා කරල තියෙන ප්‍රශ්න බේර ගන්න එක පහසුයි. ඒ දේ කරන්නෙ නැතුව චෝදනා කර ගන්නවා. ඒ කතාවල් අයින් කරල - ඔය හැමෝම එකතු වෙලා , එකමුතු වෙලා සමාදානේ ඇතිකර ගන්න. එතකොට තමා මේ රට ගැන, ජාතීන් ගැන, අපේ රටේ ඉතිහාසයේ වැදගත් කම ගැන ලෝකයට දැනගන්න ලැබෙන්නෙ. එහෙම නොවුනොත් මේ රටේ තවත් ගිනි ඇවිළෙයි. අපි ලෝකයේ අපවාදයට ලක්වේවි .ඒ වගේ තැනකට රට නොයවා එකමුතු වෙන්න. සාමකාමී වෙන්න. සාමාදාන වෙන්න. එතකොට මේ රට බැබළෙනවා කියල මම විශ්වාස කරනවා," ආදිවාසී නායකයා බලාපොරොත්තු තබයි.
කාගෙනුත් ඉල්ලීමක්
"මේ ලෝකෙට ඉපදෙන කූඹින්ටත්, මැසි මදුරුවන්ටත්, දියේ ඉන්න මත්ස්‍යන්ටත්,ඉන්න තැනක ජීවත් වීමට ඒ වගේම තම පරම්පරාව පවත්වා ගෙන යන්න අයිතියක් තියෙනව. ඔබ හැමෝම හිතන්න ඕන- ජාතීන් ගොඩක් ඉන්නව- නොයෙක් ආගම් අදහන අය ඉන්නව - සංස්කෘතීන් ගොඩක් තියෙනව. ඒ ඒආගම්වලට ජාතීන්ට සංස්කෘතීන්ට හැමකෙනෙක්ම ගරු කරන්න ඕන" ශ්‍රී ලංකාවේ වැදිනායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නියලැත්තෝ බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාව හමාර කරමින් ඉල්ලා සිටියේය.
සබැඳි පුවත්;
- 'පරම්පරා පොජ්ජ කොදොයි' - වන්නියලැත්තෝ
- "මේක ජාතිවාදය නෙමේ, මෙතන ආවේ මංකොල්ල කන්න"
- නව ව්‍යවස්ථාව: 'ආණ්ඩු පොජ්ජේ පිළිගැනීම් පොජ්ජක් තිබෙන්න ඕනි'
- මහනුවර ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා "හුදෙකලා සිදුවීමක් නොවෙයි"
- නිලධාරීන් වැදි තරුණයාට පහර දුන්නා - වැදි නායකයාගේ පුතා
- නව ව්‍යවස්ථාව: 'ආණ්ඩු පොජ්ජේ පිළිගැනීම් පොජ්ජක් තිබෙන්න ඕනි'










