'පරම්පරා පොජ්ජ කොදොයි' - වන්නියලැත්තෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty
වසර තිස් හත් දහසක පමණ කාලයක පටන් රැක ගෙන ආ පාරම්පරික ආදිවාසී සිරිත් විරිත් රැක ගනිමින් තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්වයක් තම බාල පරපුර ට ඇති වී තිබෙන බව ශ්‍රී ලංකාවේ ආදී වාසී නායක ඌරු වරිගේ වන්නියලැත්තෝ පවසයි.
රට ආර්ථික වශයෙන් සංවර්ධනය වීමේ දී ආදිවාසී ජනතාවට තමන්ගේ පාරම්පාරික ජීවනක්‍රමය පවත්වාගෙන යාමට සීමාවන් පැනවී ඇති බව පවසන ඔහු කැලෑව තුළට නිදහසේ ගමන් කිරීම හෝ දඩයමක් කරගැනීම තහනම්ව පවතින විට පාරම්පරික සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීම අපහසු වී ඇති බවයි වැඩිදුරටත් පවසන්නේ.
එවැනි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආදිවාසී බාල පරපුර නගරයේ ඇති රැකියා අවස්ථා සොයා යාම වැළැක්විය නොහැකි බව පවසන වන්නියලැත්තෝ ප්‍රකාශ කළේ එසේ යාමෙන් තවත් වසර කිහිපයක දී ආදිවාසී ජන ප්‍රජාව සහමුලින්ම ශ්‍රී ලංකාව තුලින් අතුරු දහන වී යනු ඇති බවයි.
දශක කිහිපයකට පෙර වනාන්තරය තුළ ජීවත් වෙමින් දඩයම තම ජීවිකා වෘත්තිය බවට පත් කර ගෙන සිටි ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ බාල පරපුරේ සමහරෙක් නගරයේ උසස් පාසැල් වල අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ නිබඳ ඇසුරට පත්වන සිංහල සමාජයේ දරු දැරියන් මෙන් ඇඳුම් පැළඳුම් ඇඳීමට සහ ජංගම දුරකථන භාවිතය ආදී නවීන තාක්ෂණයට යොමුවීම පැහැදිලිව දක්නට ලැබෙන කරුණකි.




