මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: "මුස්ලිම් සහ සිංහල ජනකොටස් අතර තවමත් සුහද සබඳතා"

A Sri Lankan man rides his bicycle past a burnt vehicle a day after anti-muslim riots erupted in Digana, a suburb of Kandy on March 7, 2018. Sri Lanka on March 5 declared a nationwide state of emergency to quell anti-Muslim riots that have killed at least two people and damaged dozens of mosques and homes, a minister said. 'The cabinet of ministers decided on tough measures, including a 10-day nationwide state of emergency,' Minister of City Planning Rauff Hakeem said as police imposed a curfew in the riot-hit central district of Kandy. / AFP PHOTO / STR (Photo credit should read STR/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය දින කීපය තුළ මහනුවර තෙල්දෙණිය අවට ප්‍රදේශ තුළ ආගමික පදනම මත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා අහඹු හුදෙකලා සිද්ධියක් ලෙස සැලකිය නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

දකුණු පළාතේ ගිංතොට සහ නැගෙනහිර පළාතේ අම්පාර යන ප්‍රදේශ තුළ ආගමික පදනම මත ඇතිවූ හෝ ඇති කෙරුණ ජනකොටස් අතර ආගමික වෛරය පතුරවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් රටාවක් මහනුවර සිදුවීමෙන් පිළිබිඹු වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත බදාදා (මාර්තු 07) යොමු කරන ලද ලිපියක දැක්වේ.

එක් සිදුවීමක් පදනම් කර ගනිමින් මහනුවර ප්‍රදේශයේ ජනතාව ආගමික පදනම මත භේදභින්න කිරීමට පිටස්තර පුද්ගලයන් සැලසුම් සහගතව කටයුතු කර ඇතැයි මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් සිදු කරන ලද මූලික විමර්ශන මගින් නිරීක්ෂණය වන බව ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

"අප නිලධාරීන්ගේ නිරීක්ෂණය වී ඇත්තේ දිගන ප්‍රදේශයේ දී පෙබරවාරි 22 වෙනිදා සිදු වූ පහරදීමකින් අවාසනාවන්ත ලෙස මියගිය පුද්ගලයාගේ අවට ගම්මානවල මුස්ලිම් සහ සිංහල ජනකොටස් අතර තවමත් සුහද සබඳතා පවතින බව"යයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

නමුත් යම් සංවිධානගත පිටස්තර කොටස් විසින් සිදු කරනු ලබන උසිගැන්වීම් සහ සාපරාධී ක්‍රියා හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ ජනකොටස් අතර භීතිය, අසමගිය, සහ වෛරය පැතිරවීමට කටයුතු සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය වන්නේ යයි මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

"නීතිය ක්‍රියාත්මක කරන්න"

තෙල්දෙණිය

එමෙන්ම පසුගිය වසර කීපය පුරා ඇතැම් සමාජ වෙබ් අඩවි ඔස්සේ ඉතාමත් සැලසුම් සහගත ලෙස ආගමික පදනම් මත ජනතාව අතර සැකය හා වෛරය ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශන නිකුත් කිරීම නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බවත් ඉහත කී ලිපියේ සඳහන් වෙයි.

වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථනයන් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ආශ්‍රිත පනත හා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහ විධිවිධාන යටතේ අපරාධ ලෙස සැලකෙන ක්‍රියාවක් වන බැවින් වෛරී කථනයන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන්නේ යයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටියි.

ආගමික වෛරය මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිදාමයන් හා වෛරී කථනයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ට අනුබල දෙන්නා වූ සියල්ලන්ටම එරෙහිව වාර්ගික, ආර්ථික, දේශපාලන හෝ සමාජ තරාතිරම් නොතකා දැඩි ලෙස නොපැකිලව කටයුතු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා වෙත සැලකර සිටින බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.