මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි

මුගාබේ වසර තිස් හතක පමණ කාලයක් සිම්බාබ්වේ පාලනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුගාබේ වසර තිස් හතක පමණ කාලයක් සිම්බාබ්වේ පාලනය කළේය.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ.

ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් පසුගියදා තනතුරින් පහ කරන ලද හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස සිය හිටපු නායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමර්සන් නන්ගග්වා දැනට රැඳී සිටින්නේ කොතැනකද යන්න රහසක්ව පවතී.

මහජන අභිලාෂය පිළි ගනිමින් ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හෝ නින්දාවට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු මොහොත මුගාබේ වෙත උදා වී ඇතැයි හිටපු උප ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහෙත් එම අදහස් බැහැර කරමින් දිගටම බලයේ රැඳී සිටීම මුගාබේගේ අදහස වී තිබිණි.

"මුගාබේ!ඔබේ කාලය අවසන්"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "මුගාබේ!ඔබේ කාලය අවසන්"

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව දැන ගැනීමට ලැබුණ හෙයින් රටින් පළා යාමට සිදු වූ බවත් හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා පවසයි.

"සිය ජනතාව ඉදිරියේ පැහැදිලි නිර්භීත ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස තමා අනූ තුන් හැවිරිදි ජනාධිපති මුගාබේගෙන් ඉල්ලා සිටි" බව එමර්සන් මනන්ගාවා සඳහන් කළේය.

"මම ජනාධිපතිට කිව්වා- මගේ ආරක්ෂාව සහතික කෙරෙන තෙක් ආපසු රටට එන්නේ නැහැයි කියල. මොකද? මම උප ජනාධිපති පදවියෙන් එළවා දාපු අවස්ථාවේ මට සලකපු ආකාරය නිසා" ඔහු කියා සිටියි.

කෙසේවුවද ,පදවියෙන් ඉවත්ව යාම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටි ජනාධිපති මුගාබේ ඒ අතරවාරයේ කැබිනට් සාකච්ඡාවක් ද කැඳවනු ලැබ තිබිණි.

ජනාධිපති මුගාබේ කැඳවූ එම කැබිනට් රැස්වීමට සහභාගී වීම බොහෝ ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් වාර්තා වෙයි.

මුගාබේ දිගටම 'බලයේ එල්ලී සිටීමේ' ව්‍යාපෘතියක සිටි නමුත් ඔහු නායකත්වය දුන් ෂානු-පීඑෆ් පක්ෂය ඔහු දෝෂාභියෝගයක් මගින් හෝ නෙරපා හැරීමේ උත්සාහය දිගටම පෙරට ගෙන ගිය අතර මේවනවිට ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වී ඇත.

මුගාබේ ඉවත් වීම සමඟ 'හරාරේ' නගරයේ වීදි සරණ ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුගාබේ ඉවත් වීම සමඟ 'හරාරේ' නගරයේ වීදි සරණ ජනතාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට අසමත් වීම සහ සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට අධික බලතල පැවරීම පිළිබඳව එම දෝෂාභියෝගය මගින් ජනාධිපතිවරයාට චෝදනා කෙරුණි.

අදාළ දෝෂාභියෝගය සම්මත කර ගැනීමට දින දෙකක් ගතවනු ඇතැයි සිම්බාබ්වේ පාලක ෂානු-පීඑෆ් පක්ෂයේ නිලධාරීහු ප්‍රකාශ කළත් ඉන් පෙරම මුගාබේගේ ඉවත්ව යාම නිවේදනය කෙරුණි.

ෂානු-පීඑෆ් පක්ෂය සමඟ වාඩි වී රටේ ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට දැන් තමන් සූදානම් බව සිම්බාබ්වේ විපක්ෂය පවසයි.

බිරිඳ ග්‍රේස්ට අධික බලතල දීම මුගාබේට එරෙහි චෝදනාවක් විය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බිරිඳ ග්‍රේස්ට අධික බලතල දීම මුගාබේට එරෙහි චෝදනාවක් විය

සබැඳි පුවත්;