ගුවන් යානය සොයා ගත්තේ ඉන්දියානුවෙක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගුවන් යානයේ නිර්මාතෘවරුන් ලෙස සැලකෙන 'රයිට් සහෝදරයන්ට'ත් අවුරුදු අටකට පෙර එය මුලින්ම සොයා ගන්නා ලද්දේ ඉන්දියානුවකු බව ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු භාර කනිෂ්ඨ ඇමති සත්‍යපාල් සිං පවසයි.
පෞරාණික ඉන්දියාවේ විද්‍යාත්මක ගවේෂණ සහ සොයා ගැනීම් පිළිබඳව රටේ අනාගත ඉංජිනේරුවන් දැනුවත් කළ යුතුව ඇති බවත් ඇමතිවරයා කියා සිටියි.
අධ්‍යාපන කටයුතු භාර කනිෂ්ඨ ඇමති සත්‍යපාල් සිං රසායන විද්‍යාව පිළිබඳව එම් ෆිල් (MPhil) උපාධිධරයකු වන අතර මුම්බායි හිටපු පොලිස් කොමසාරිස්වරයා ද වෙයි.
"රයිට් සහෝදරයන්ට පෙර ඉන්දියානුවෙක් ගුවන් යානය සොයාගත් බව ශිෂ්‍යයන්ට කියා දෙන්නේ නැත්තේ ඇයි? ගුවන් යානයක් පළමු වරට නිර්මාණය කළේ ශිවාකර් බාබුජි තල්පඩේ(Shivakar Babuji Talpade) විසිනුයි.රයිට් සහෝදරයන්ට අවුරුදු අටකට පෙර ඔහු ගුවන් යානය සොයා ගත්තා.ඒ ගැන අපේ ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණය මගින් අවබෝධයක් ලබා දීල තියෙනවාද? අපි ඒක කරන්න ඕන" සත්‍යපාල් සිං ඇමතිවරයා පසුගිය බදාදා දිල්ලි අගනුවර පැවැත්වුන 'ඡාත්‍ර විශ්වකර්ම' සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වෙමින් කියා සිටියේය.
එපමණක් නොව අත්කම් ශිල්පීන් සහ ඉංජිනේරු ප්‍රජාව විසින් පුදනු ලබන හින්දු දේවතාවියක් පිළිබඳව ද ඉංජිනේරු ශිෂ්‍යන්ට කියා දියයුතු බව ඇමතිවරයා පවසයි.
සත්‍යපාල් සිං ඇමතිවරයා තවත් අතීතයට යමින් ගුවන්යානය පිලිබඳ සංකල්පය පවා හින්දු සම්භවයක් සහිත දෙයකැයි පවසමින් ඒ ගැන මුලින්ම සඳහන් වන්නේ හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ යයි කියා සිටියි.
ශිවාකර් බාබුජි තල්පඩේ(Shivakar Babuji Talpade) විසින් ගවේශනය කරන ලද කරුණු තවමත් හරිහැටි තහවුරු කරගෙන නැති බවත් සත්‍යපාල් සිං ඇමතිවරයා පවසයි.
කෙසේවුවද, ඔහුගේ එම අදහස්වලට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලැබීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලය තුළ ඒවා හාස්‍යයට ලක් වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සත්‍යපාල් සිංට පෙර දේශපාලකයන් පමණක් නොව වෙනත් කථිකයන් විසින් ද ඊට සමාන අදහස් පළ කර ඇත.
2015 වසරේ ඉතා කීර්තිමත් විද්‍යා සමුළුවක් අමතමින් අදහස් දැක්වූ කථිකයෙක් ගුවන් යානය සොයා ගන්නා ලද්දේ මෙයින් වසර 7000 කට පෙර ජීවත් වූ භාරද්වාජ (Bharadwaja )විසින් යයි කියා සිටියේය.
එපමණක් නොව නම් විශ්‍රාමික ගුවන් නියමුවකු මෙන්ම ගුවන් නියමුවන් පුහුණු කරන ආයතනයක පුහුණුකරුවකු ද වන ආනන්ද් බෝදාස් (Captain Anand Bodas) ප්‍රකාශයක් කරමින්,මෙයින් වසර දහස් ගණනකට පෙර ග්‍රහලෝක අතර පියාසර කළ ගුවන් යානා ඉන්දියාව සතු වූ බව පවසමින් එදා රේඩාර් තාක්ෂණය අදටත් වඩා සුපිරි තත්වයක පැවතුන බව ප්‍රකාශ කර ඇත.
එවැනි අදහස් පලකරනු ලබන්නේ සාමාන්‍ය පුද්ගලයන් නොවීමත් විශේෂයකි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 2014 වසරේ මුම්බායි රෝහලේ වෙද සහ හෙද කාර්ය මණ්ඩල අමතමින්,පෞරාණික ඉන්දියාවේ රූපලාවණ්‍ය සැත්කම් පැවති බව හින්දු ගන දෙවිරුව (Lord Ganesha )තුළින් ප්‍රත්‍යක්ෂ වෙන බව කියා සිටියේය.
"අපි අපේ ගන දෙවියන් පුදනවා.මිනිස් සිරුරකට ඇත් මුහුණක් බද්ධ කිරීමේ ප්ලාස්ටික් සැත්කම් දැනුම එදා අතීතයේ තිබුණා විය යුතුයි" අගමැති මෝඩි ප්‍රකාශ කළේය.
හින්දු දේව පුරාණය අනුව ගන දෙවියන් නිර්මාණය වුණේ ශිව දෙවියා විසින් ළමා සිරුරකට ඇත් මුහුණක් එකතු කිරීමෙනි.
බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති විජේ රූපානි (Vijay Rupani) යටිතල තාක්ෂණ පර්යේෂණ සහ කළමනාකාරිත්ව විද්‍යායතනයේ පසුගිය මාසයේ මුළු දුන් සමුළුවක දී දේශනයක් පවත්වමින් 'රාම' (Lord Ram) දෙවියන්ගේ ඉංජිනේරු ශක්‍යතාව ප්‍රශංසාවට ලක් කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
හින්දු සමාජයේ මහා ගෞරවයක් සහිත 'රාම' කුමරු වීර කාව්‍යයක් වන රාමායනය ප්‍රධාන චරිතයයි.
රාක්ෂ වංශිකයකු වූ ශ්‍රී ලංකාවේ රාවනා රජු විසින් පැහැර ගන්නා ලද සිය දේවිය වූ සීතා බේරාගැනීම සඳහා රාම කුමරු මුහුද ඔස්සේ පාලමක් ඉදි කරන ලද බවක් රාමායනයේ දැක්වෙයි.
ගුජරාට් මහඇමති වරයා 'රාම' (Lord Ram) දෙවියන්ගේ ඉංජිනේරු ශක්‍යතාව ප්‍රශංසාවට ලක් කර ඇත්තේ එම කරුණ සිහිපත් කරමිනි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අඩුම පරතරය පවතින්නේ පෝක් සමුද්‍ර සන්ධිය(The Palk Strait) ඔස්සේ බලන විටයි.
එම දෙරට අතර මත්ස්‍යගහනය නිසා ඇති වූවා විය හැකි භූමි සම්බන්ධයක ළකුණු එහි පෙන්නුම් කෙරෙයි.
බොහෝ හින්දූන්ට අනුව එය රාම කුමරුන් විසින් ඉදි කරන ලද පාලමක නෂ්ටාවශේෂයි.
"රාම දෙවියන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකළ 'රාම පාලම'(Ram Setu) අනුව එතුමන්ට කොයි මට්ටමේ ඉංජිනේරු දැනුමක් තිබුණාද කියල හිතා ගන්න පුළුවන්!ඒ පාලම හදන්න ලේන්නු පවා උදව් කරලා තියෙනවා.ඒ පාලමේ නටබුන් අදත් තියෙන බව මිනිස්සු කියනවා" ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති විජේ රූපානි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
විද්‍යාත්මක අගයක් නොමැති එවැනි අදහස් ප්‍රකාශ කළ පළමු කථිකයන් වන්නේ සත්‍යපාල් සිං ඇමතිවරයා හෝ ගුජරාට් මහ ඇමතිවරයා පමණක් නොවේ.
රාජස්ථානයේ අධ්‍යාපන ඇමතිවරයා පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශයක් කරමින් 'අම්ලකර වායුව' (oxygen)ආශ්වාස සහ ප්‍රශ්වාස කරන එකම ජීවියා ගවයා වන බවක් කියා තිබුණි.
එය ඉන්දියාවේ විද්‍යාත්මක සහ බුද්ධිමය සමාජය තුළ බෙහෙවින් උපහාසයට ලක් වූ ප්‍රකාශයක් විය.
සබැඳි පුවත්;








