බ්‍රිතාන්‍යය මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරවල ඉතිහාසය

Armed police return to their vehicles following an attack near London Bridge station, 4 June 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සෙනසුරාදා (ජුනි 04) ලන්ඩනයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු මරණයට පත් විය.

බරෝ මාකට් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙත පිහි ප්‍රහාර එල්ල කිරීමට පෙර ප්‍රහාරකයන් තමන් පැමිණි වෑන් රථය ලන්ඩන් බ්‍රිජ් පාලමේ ගමන් ගත් පදිකයන් වෙත ධාවනය කර තිබිණි.

මිනිත්තු කිහිපයකට පසු ප්‍රහාරකයන් පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.

පසුගිය දශක කිහිපය තුළ මහා බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට මුහුණ දී තිබේ.

එලෙස බ්‍රිතාන්‍යයට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන් පහත දැක්වේ.

line

2017: මැයි 22

මැන්චෙස්ටර් නගරයේ පැවති ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 59 දෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රසංගයට සහභාගී වූ ළමුන් සහ තරුණ තරුණියන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබුණේ ලිබියානු සම්භවයකින් පැවත එන මැන්චෙස්ටර් නගරයේ උපත ලද විසි දෙහැවිරිදි සල්මන් අබේඩි නමැති පුද්ගලයෙකු විසිනි.

line

2017: මාර්තු 22

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආසන්නයේ දී එල්ල කෙරුණු ප්‍රහාරයකින් ප්‍රහාරකයා ඇතුළු හය දෙනෙකු මරණයට පත් වී තවත් පනස් දෙනෙක් තුවාල ලැබූහ.

ඛලීඩ් මසුඩ් නමැති පුද්ගලයා විසින් කුලියට ලබා ගත් මෝටර් රථයක් වෙස්ට්මිනිස්ටර් පාලම මත ගමන් ගනිමින් සිටි පදිකයන් වෙත පදවා තිබිණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසට දිව ගිය ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වීමට පෙර එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පිහි ප්‍රහාරයක් එල්ල කළ කර තිබිණි.

line

2016: ජුනි 16

තෝමස් මයර් නමැති පුද්ගලයෙකු විසින් බ්‍රිස්ටල් නගරයේ දී ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස්ට වෙඩි තබා පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

අන්තවාදී අදහස් පළ කෙරෙන වෙබ් අඩවිවලට පිවිසෙන්නෙකු සහ අන්ත දක්ෂිණාංශික පොත් පත් පරිහරණය කරන්නෙකු වූ ඔහු ඝාතනය සිදු කරන අවස්ථාවේ "පළමුව බ්‍රිතාන්‍"" යනුවෙන් හඬ ගා තිබිණි.

ඝාතනය සිදු කිරීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

line

2015: දෙසැම්බර් 05

නැගෙනහිර ලන්ඩනයේ ලේටන්ස්ටෝන් දුම්රියේ දී උමං දුම්රිය මගීන්ට පුද්ගලයෙකු විසින් පිහි ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මුහිදීන් මයර් නමැති එම පුද්ගලයා "මේ මගේ සිරියානු සහෝදරයන් වෙනුවෙන්. මම උඹලගේ ලේ හොලවන්න යන්නේ" යනුවෙන් ඔහු යටත් කර ගනු ලැබීමට පෙර හඬ ගා තිබිණි. මානසික රෝගවලින් පෙළෙන්නෙකුව සිටි ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කෙරිණි.

line

2013: මැයි 22

ඉස්ලාමීය අන්තවාදීන් දෙදෙනෙකු විසින් බ්‍රිතාන්‍ය හමුදා සෙබළෙකු වූ ලී රිග්බි ලන්ඩනයේ වූල්විච් නගරයේ දී පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

මයිකල් අඩෙබොලාජෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණු අතර මයිකල් අඩෙබොවාලේට වසර 45 ක සිර දඬුවමක් නියම කෙරිණි.

line

2008: මැයි 22

එක්සෙටර් හි අවන්හලක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. අවන්හලේ වැසිකිළිය තුළ පුපුරා ගිය බෝම්බයෙන් ඉස්ලාම් දහම වැළඳගත් නිකී රේලි නමැති පුද්ගලයා පමණක් තුවාල ලැබීය. 2016 වසරේ දී ඔහු මැන්චෙස්ටර් බන්ධනාගාරයේ දී මරණයට පත් විය.

line

2007: ජුනි 30

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරමින් ග්ලාස්ගව් ගුවන් තොටුපලේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල දෙසට ජීප් රථයක් ධාවනය කරනු ලැබීය. පස් දෙනෙකු තුවාල ලැබූ අතර රථය ගැටීමේ දී සිදු වූ බරපතළ පිළිස්සුම් තුවාල හේතුවෙන් අපරාධකරුවන් අතර සිටි කෆීල් අහමඩ් නැමැත්තා මසකට පසු මරණයට පත් විය.

ඔහු සමග සිටි සෙසු පුද්ගලයා වන ඉරාකයේ උපත ලද වෛද්‍යවරයෙකු වූ බිලාල් අබ්දුල්ලාට වසර 32 ක සිර දඬුවමක් නියම විය.

line

2007: ජුනි 29

ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් ප්‍රදේශයේ දී කාර් බෝම්බ දෙකක් සොයා ගැනිණි.

line

2005: ජුලි 21

එම වසරේ ජුලි 07 වෙනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සති දෙකකට පසු පොදු මගී සේවය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර හතරක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වූයේ එම බෝම්බ පුපුරා නොයාම හේතුවෙනි. 2007 ජුලි මාසයේදී ඊට වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

line

2005: ජුලි 07

උදෑසන කාර්යබහුල වෙලාවේ දී ලන්ඩන් පොදු මගී සේවය ඉලක්ක කර සැලසුම් සහගත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. උමං දුම්රිය තුනක බෝම්බ තුනක් පුපුරා ගිය අතර තට්ටු බස් රථයක් සිව් වෙනි බෝම්බයේ ඉලක්කය විය. එම ප්‍රහාරවලට හසුව 52 දෙනෙකු මිය ගිය අතර හත්සිය දෙනෙක් තුවාල ලැබූහ.

line

2001: අගෝස්තු 03

ලන්ඩනයේ ඊලින් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දී Real IRA සංවිධානය විසින් මෝටර් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබූහ.

line

2001: මාර්තු 04

Real IRA සංවිධානය විසින් බටහිර ලන්ඩනයේ බීබීසී රූපවාහිනී මධ්‍යස්ථානයෙන් පිටතදී කාර් බෝම්බයක් පුපුරවා හරිනු ලැබීය. පිපිරීම සිදු වීමට කෙටි කාලයකට පෙර පොලිසියට ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබී තිබිණි. එන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.

line

1999: අප්‍රේල් 17-30

ඩේවිඩ් කෝප්ලන්ඩ් විසින් දින දහතුනක් පුරා බෝම්බ ප්‍රහාර ගණනාවක් දියත් කරනු ලැබීය. ඉන් ලන්ඩනයේ තිදෙනෙකු මරණයට පත් වූ අතර 139 දෙනෙක් තුවාල ලැබූහ. කළු ජාතිකයන්, බංග්ලාදේශ ජාතිකයන් සහ සමලිංගික ප්‍රජාව වෛරී චේතනාවෙන් සිදු කළ එම ප්‍රහාරවල ඉලක්ක විය.

line

1996: ජුනි 15

පුපුරන ද්‍රව්‍ය කිලෝ 1,500 ක සහිත ලොරි රථයක් මැන්චෙස්ටර් නගර මධ්‍යයේ පුපුරා ගියේය. IRA සංවිධානය විසින් බ්‍රිතාන්‍ය තුළ පුපුරවා හරිනු ලැබූ විශාලතම බෝම්බය එයයි. සැතපුම් භාගයක වපසරියක පිහිටි ගොඩනැගිලිවලට ඉන් හානි විය. කිසිවෙකුත් මරණයට පත් නොවූ අතර 212 දෙනෙක් තුවාල ලැබූහ.