මැන්චෙස්ටර් ප්‍රහාරකයා නම් කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ සඳුදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ නම පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
සැකකාර පුද්ගලයා ලිබියානු සම්භවයක් සහිත විසි දෙහැවිරිදි සල්මන් අබේඩි නමැති මැන්චෙස්ටර් නගරයේ උපත ලැබූවෙකු බව බීබීසීයට දැන ගන්න ලැබිණි.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා අබේඩිට වෙනත් පුද්ගලයෙකුගේ සහාය ලැබී ඇත්දැයි යන්න පිළිබඳ මූලික වශයෙන් පරීක්ෂණ සිදු කරන බව මැන්චෙස්ටර් පොලිසිය පැවසීය.
ප්‍රහාරයට හසුව පුද්ගලයන් විසි දෙදෙනෙකු මරණයට පත් වූ අතර තවත් පනස් නව දෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රහාරයෙන් මරණයට පත් තිදෙනෙකුගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ආකාරයේ ත්‍රස්තක්‍රියා මැඩලීමට ලෝකයේ සෑම රාජ්‍යයක්ම ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි කියා සිටියි.
දේශපාලන අරමුණු උදෙසා නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කරනු ලැබීම බියසුලු ක්‍රියාවක් වන බව පවසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ටත් බ්‍රිතාන්‍ය රජයට සහ එරට ජනතාවටත් සිය සංවේගය පළ කරයි.
මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය සහ කම්පාව පළ කරමින් ප්‍රකාශන නිකුත් කරන ප්‍රංශ සහ ජර්මන් නායකයෝ යුරෝපයේ ත්‍රස්ත විරෝධී සහයෝගීතාවය නංවාලන මෙන් ඉල්ලීමක් කරති.
පැරිස් නගරයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ තබා ඇති ශෝකය සටහන් කිරීමේ පොතේ පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) යුරෝපා ත්‍රස්ත විරෝධී සහයෝගීතාවයේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චාන්සලර් අන්ගෙලා මර්කල් (Angela Merkel) ප්‍රකාශයක් කරමින්, මැන්චෙස්ටර් නගරයේ සිදු වූ ආකාරයේ අමානුෂික ක්‍රියා සැලසුම් කරන ලද පුද්ගලයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයත් සමඟ ශක්තිමත් ලෙස කටයුතු කිරීම සඳහා එම ඝාතනය මගින් ජර්මනියට අවස්ථාව උදාකළ බව සඳහන් කළාය.
මැන්චෙස්ටර් ප්‍රහාරය "තේරුමක් නොමැති ම්ලේච්ඡ ක්‍රියාවක්" හැටියට හෙළා දුටු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම ප්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය සහෝදරත්වය සහ සහයෝගය පළ කරති.










