ලන්ඩන් ප්‍රහාරය: මේ කරුණු දැන සිටියාද?

'ලන්ඩන් බ්‍රිජ්' ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙනහිර ලන්ඩනයේ දී පුද්ගලයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
සෙනසුරාදා රාත්‍රියේ 'ලන්ඩන් බ්‍රිජ්' සහ 'බරෝ මාකට්' ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ 48 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය සේවා නිවේදනය කළේය.
තුවාල ලැබූවන් අතරින් 21 දෙනෙකු බරපතළ තත්වයේ පසුවේ.
'ලන්ඩන් බ්‍රිජ්' පාලම මත සිටි පදිකයන් වෙත වෑන් රථයක් ධාවනය කළ ප්‍රහාරකයන් තිදෙනා ඉන් අනතුරුව ඒ ආසන්නයේ පිහිටි 'බරෝ මාකට්' ප්‍රදේශය වෙත ගොස් ඒ අවට අවන්හල් තුළ සිටි සංචාරකයන් සහ සාමාන්‍ය වැසියන්ට පිහි ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාරකයන්ගෙන් ගැලවීම සඳහා අවන්හල්වල සිටි පුද්ගලයන් ඔවුන් වෙත පුටු සහ වීදුරුවලින් දමා ගැසූ බව ඇසින්දුටුවෙකු කියා සිටියේය.
එහි පැමිණි පොලිස් නිලධාරීහු මහජනතාවට වහා එම ස්ථානයෙන් පිටතට දිව යන ලෙස හෝ සැඟව සිටින ලෙස දන්වා සිටියහ.
"පිහි ඇනුම් පහර 10ක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රහාරකයන් පිළිබඳ විස්තර කරමින් ඇසින්දුටුවෙකු වන ගෙරාඩ් බීබීසීයට කියා සිටියේ "මේ අල්ලා දෙවියන් වෙනුවෙන්, යැයි කෑ ගසමින් ඔවුන් ඒ මෙහෙ දුව ගියා. ඔවුන් ගැහැණු ළමයෙකුට දහ පාරක් නැතිනම් පහළොස් පාරක් පිහියෙන් ඇන්නා" යනුවෙනි.
'ලන්ඩන් බ්‍රිජ්' ප්‍රහාරය වාර්තා වී මිනිත්තු 08 ක් ඇතුළත ප්‍රහාරකයන් තිදෙනා වෙඩි තබා මරා දැමූ බව පොලිසිය පවසයි.
සන්නද්ධ පොලිස් භටයන් අට දෙනා ප්‍රහාරකයන්ට උණ්ඩ 50 ක් පමණ එල්ල කොට ඇත.
මරණයට පත් පුද්ගලයන්ගේ අනන්‍යතාව මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.
ප්‍රහාරකයන් තිදෙනා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් බව පෙන්නුම් කරන ව්‍යාජ ඇඳුම් කට්ටල ඇඟලා සිටි බව පොලිසිය පවසයි.
'ලන්ඩන් බ්‍රිජ්' සහ 'බරෝ මාකට්' යන ස්ථාන වසා දමා ඇති අතර ත්‍රස්ත මර්දන විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ සිදු කරමින් සිටිති.
බ්‍රිතාන්‍ය මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ, විපක්ෂ නායක ජෙරමි කෝබින් සහ සෙසු පක්ෂ නායකයන් ප්‍රහාරය හෙළා දැක තිබේ.
ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව UKIP පක්ෂය හැර සෙසු සියලු පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව අත්හිටවීමට කටයුතු කළහ.
කෙසේ නමුත් ජුනි 08 වෙනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතුවල වෙනසක් නොවන බව අගමැතිනිය තහවුරු කළේය.
වෙස්ට්මිනිස්ටර් සහ මැන්චෙස්ටර් ප්‍රහාර


ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාස කීපයක් ඇතුළත එංගලන්තයට එල්ල වූ තෙවන ප්‍රහාරය මෙයයි.
පසුගිය මාර්තු 22 වෙනිදා වෙස්ට්මිනිස්ටර් පාලම මත සිටි පදිකයන් වෙත ඕනෑකමින් රිය පැදවූ පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආසනයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
රියේ ගැටුණු පදිකයන් සිව් දෙනෙකු සහ පිහි පහර කෑ පොලිස් නිලධාරියා මරුමුවට පත් විය.
පොලිස් වෙඩි පහරින් මිය ගිය ප්‍රහාරකයා ඛලීඩ් මසුද් නැමැත්තෙකු බව පසුව අනාවරණය විය.
මේ අතර මැයි 22 වෙනිදා මැන්චෙස්ටර් නගරයේ පැවති සංගීත සංදර්ශනයකට මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඉන් දරුවන් ඇතුළු 22 දෙනෙකු මරුමුවට පත් වී තවත් 59 දෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ලිබියානු සම්භවයක් සහිත සල්මන් අබේඩි නැමැත්තෙකු බව පසුව අනාවරණය විය.










