බ්‍රසල්ස් නුවර ප්‍රහාරයේ එසැන පුවත්
13.45 උමං දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීමෙන් '20' ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty
බ්‍රසල්ස් නුවර උමං දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීමෙන් විසි දෙනකු මරුමුවට පත් වී ඇති බව එහි නගරාධිපතිවරයා පවසයි.
උමං දුම්රිය තුළ සිටි එක සිය හය දෙනකු තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.
ඉන් දාහත් දෙනකු අසාධ්‍ය තත්වයේ පසු වන බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
බ්‍රසල්ස් ගුවන් තොටුපල සහ උමං දුම්රිය ස්ථානය තුළ සිදු වූ පිපිරීම්වලට හසු වී මරුමුවට පත් සංඛ්‍යාව තිස් හතර දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
13.30 බ්‍රසල්ස් ගුවන් තොටුපලේ තිබී මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගැනෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
පොලිසිය විසින් බ්‍රසල්ස් ගුවන් තොටුපලේ තිබී භාවිතා නොකරන ලද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගත් බව බෙල්ජියමයේ වීටීඑම් පුවත් ආයතනය පවසයි.
එහි තිබී රිෆල් තුවක්කුවක් හමු වූ බව මීට ඉහතදී වාර්තා විය.
12.00 බ්‍රසල්ස් ප්‍රහාර: 26 දෙනකු මරුමුවට පත් වී 126 ක් තුවාල ලබා ඇති බව නවතම වාර්තා පවසයි

ඡායාරූප මූලාශ්‍රය, AP
ගුවන් තොටුපලේ සිදු වූ පිපිරීම් දෙකට හසු වී 15 දෙනකු මිය ගොස් ඇති බවත් 81 දෙනකු තුවල ලබා ඇති බවත් බෙල්ජියමයේ සෞඛ්‍යය අමාත්‍යංශය නිවේදනය කළේය.
මාල්බෙක් දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයට ගොදුරු වී මරුමුවට පත් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව බ්‍රසල්ස් නුවර උමං දුම්රිය සේවය මීට ඉහතදී පැවසීය.
11.30 බ්‍රසල්ස් නුවර පුරා පොදු ප්‍රවාහන සේවාවලට බාධා

ඡායාරූප මූලාශ්‍රය, Asmyani Kusrini
බ්‍රසල්ස් නුවර පොදු ප්‍රවාහන සේවා නවතා දමා ඇති අතර යුරෝපය පුරා ආරක්ෂාව තර කොට තිබේ.
11.15 මාල්බීක් ප්‍රහාරය:මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළට

ඡායාරූප මූලාශ්‍රය,
මාල්බෙක් (Maalbeek) දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීමෙන් 15 ක් මරුට, 55 දෙනෙක් තුවාල ලබති
මාල්බෙක් උම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයට ගොදුරු වී මරුමුවට පත් සංඛ්‍යාව පහළොව දක්වා ඉහළ ගොස් ඇති බව බ්‍රසල්ස් නුවර උමං දුම්රිය සේවය තහවුරු කරයි.
11.00- ''ත්‍රස්ත ප්‍රහාරයක්''

ඡායාරූප මූලාශ්‍රය, PA
බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපල වෙත එල්ල වූ ප්‍රහාර දෙක සහ උමං දුම්රිය ස්ථානයක් වෙත එල්ල වූ ප්‍රහාරය ''ත්‍රස්ත ප්‍රහාරයක්'' බව බෙල්ජියමයේ නීතිපතිවරයා තහවුරු කරයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන අංශය විසින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂනයක් ආරම්භ කොට ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
10.45 - අතිරේක පොලිස් බල ඇණි

බ්‍රසල්ස් නුවරට ප්‍රහාර එල්ල වීමත් සමග ප්‍රංශය පුරා අතිරේක පොලිස් බල ඇණි යොදවයි
ප්‍රංශය පුරා පිහිටි දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළවල් සහ දේශ සීමා අවට අතිරේක පොලිස් භටයන් 1600 දෙනකු යොදවන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
ලන්ඩන් සහ නිව්යෝක් නුවරවල ආරක්ෂාව තර කිරීමටත් ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන තිබේ.
10:33 ප්‍රහාරයේ වගකීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැත.
එහෙත් ප්‍රහාරය පිළිබඳව අයි එස් කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රීතිවන බව වාර්තා වේ.








