බ්‍රසල්ස් මෙහෙයුම: 'වැසියන් තැතිගැනිලා'

'මේක බෙල්ජියමේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම සන්නද්ධ හමුදාව එලියට බැස්සම ගොඩක් මිනිස්සු බයවෙලා තියෙන්නේ'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මේක බෙල්ජියමේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම සන්නද්ධ හමුදාව එලියට බැස්සම ගොඩක් මිනිස්සු බයවෙලා තියෙන්නේ'

පැරිස් ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් සොයමින් බෙල්ජියමේ හමුදාව සහ පොලිසිය දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමත් සමඟ බ්‍රසල්ස් වාසීන් තැතිගැනී සිටින බව එහි සිටින ශ්‍රී ලාංකිකයෙක් පවසයි.

විශේෂයෙන්ම ආරක්ෂක හමුදා මෙසේ වීදිවල සැරිසරනු මීට පෙර කිසි දිනෙක දැක නැතැයි තරුණ බ්‍රසල්ස් වැසියන් බොහෝ දෙනකු තමන් සමඟ පැවසූ බව යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කරන මැණික් හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට පැවසීය.

පසුගිය නොවැම්බර් 13 වැනි දින රාත්‍රියේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ සලා අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර සැඟවී සිටින බව විශ්වාස කරන බලධාරීහු සෙනසුරාදා අගනුවර දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කළහ.

ජනතාව රැස්වන ස්ථාන වසා දමන මෙන් බලධාරීන් කළ ඉල්ලීමත් සමග පාලුවට ගිය නගරය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව රැස්වන ස්ථාන වසා දමන මෙන් බලධාරීන් කළ ඉල්ලීමත් සමග පාලුවට ගිය නගරය

ජනතාව රැස්වන ස්ථාන වසා දමන මෙන් බලධාරීන් කළ ඉල්ලීමත් සමග නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන, උමං දුම්රිය, පාසල්, විශ්ව විද්‍යාල සහ පෙර පාසල් සඳුදාත් වසා දමා තිබේ.

ඒ හේතුවෙන් සමස්ත නගරයම පාලුවට ගොස් ඇති නමුත් සියලු රජයේ කාර්යාල සහ යුරෝපා සංගමයේ කාර්යාල විවෘතව තිබෙන බවත් මැණික් හෙට්ටිආරච්චි සඳහන් කළේය.

නගරයේ ආරක්ෂක වාතාවරණය සාමාන්‍ය හෙවත් කොළ පැහැයේ සිට ඉහලම මට්ටම දක්වා ඉහල දමා ඇති අතර, සියලු කාර්යාලවල ආරක්ෂාව තර කොට තිබේ.

බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින බව තානාපති රොඩ්නි පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

අගනුවර ආරක්ෂක තත්වය ඉක්මනින් යහපත් වනු ඇතැයි යන්න බෙල්ජියම්වාසීන්ගේ බලාපොරොත්තුවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, අගනුවර ආරක්ෂක තත්වය ඉක්මනින් යහපත් වනු ඇතැයි යන්න බෙල්ජියම්වාසීන්ගේ බලාපොරොත්තුවයි

බෙල්ජියමේ වාසය කරන්නේ ශ්‍රී ලාංකිකයන් දහසකට අඩු පිරිසක් බව සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළ තානාපතිවරයා, ආරක්ෂක මෙහෙයුමෙන් ඔවුන් කිසිවකුට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් නගරවාසීන් පසුවන්නේ දැඩි බියකින් සහ තැතිගැනීමකින් බවයි මැණික් හෙට්ටිආරච්චි පවසන්නේ.

"මොකද මේක බෙල්ජියමේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම සන්නද්ධ හමුදාව එලියට බැස්සම ගොඩක් මිනිස්සු බයවෙලා තියෙන්නේ," ඔහු පැවසීය.

"ගොඩක් දෙමවුපියෝ බයයි ඒක දරුවන්ට පෙන්නන්නත්. මම දන්න විදියට මීට අවුරුදු 15 කට විතර ඉස්සර තමයි මුලින්ම හමුදාව එලියට ඇවිල්ල තියෙන්නේ."

පාලුවට ගිය උමං දුම්රිය ස්ථානයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, පාලුවට ගිය උමං දුම්රිය ස්ථානයක්

බ්‍රසල්ස් නගරයෙන් පිටත ආරක්ෂක වාතාවරණය යහපත් බැවින් අගනුවර සේවයට පැමිණෙන පිරිස් ඉක්මනින් පිටත්ව යාමට උත්සාහ දරන බව පවසන මැණික් හෙට්ටිආරච්චි, කෙසේ නමුත් අගනුවර ආරක්ෂක තත්වය ඉක්මනින් යහපත් වනු ඇතැයි යන්න බෙල්ජියම්වාසීන්ගේ බලාපොරොත්තුව බව වැඩිදුරටත් සඳහන් කළේය.