කරාපිටිය රෝහලේ හද සැත්කම් ඒකකය 'වැසී යාමේ අවදානමක්'

මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්

කරාපිටිය මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් එහි ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවට චෝදනා කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පසුගිය මැයි 12 වැනි දින සිට සියලු හදවත් සැත්කම් නවතා දැමීම එයට හේතුවයි.

මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්.

2003 දී නාමල් ගමගේ වෛද්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කරාපිටිය රෝහලේ හෘද සැත්කම් ඒකකයේ ශල්‍යාගාරය වෙනත් සැත්කම් සඳහාද ලබාදීමට රෝහල් බලධාරීන් ක්‍රියාකිරීමයි, මේ අර්බුදයට මුල් වී තිබෙන්නේ.

'හිතක් පපුවක් නෑ'

මතුව තිබෙන අර්බුදය පිළිබඳ විමසා බැලීම පිණිස අජිත් කුමාර සහ වෛද්‍ය රොමේෂ් පතිරණ යන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා කරාපිටිය රෝහලේ සංචාරයක නිරත වූ අවස්ථාවේ අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා, ලොව පුරා බොහෝ රටවල වැඩියෙන්ම රෝගීන් මියයන්නේ හෘදය රෝග හේතුවෙන් බව පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන් රෝහලේ සංචාරය කළ අවස්ථාවේ ශල්‍යාගාරය ඉබි යතුරු දමා වසා දමා තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, මන්ත්‍රීවරුන් රෝහලේ සංචාරය කළ අවස්ථාවේ ශල්‍යාගාරය ඉබි යතුරු දමා වසා දමා තිබුණි

එය නොසලකා කරාපිටිය රෝහල් බලධාරීන් ක්‍රියාකරන ආකාරය වෛද්‍ය නාමල් ගමගේ හඳුන්වා දුන්නේ 'හිතක් පපුවක් නොමැති පිළිවෙතක්' ලෙසින්.

මෙම අර්බුදයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කළේය.

"සෞඛ්‍ය ඇමතිතුමෙක් ඉන්නවා නම් ඉස්සෙල්ල හොයන්න ඕන වැඩියෙන් මැරෙන්නේ මොනවයින්ද කියලා," ඔහු පැවසීය.

මෑතක් වනතුරු මසකට ශල්‍යකර්ම 50-60 ක පමණ සිදු කළ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ සම්මානලාභී වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයා ඉවත්වීමෙන් අනතුරුව ගතව ගිය මාසයක පමණ කාලය තුල එම ශල්‍යාගාරයේ සිදුකොට තිබෙන්නේ සැත්කම් අටක් පමණයි.

ශල්‍යාගාරය 'වසා දමලා'

සතියේ දින කිහිපයක් ශල්‍යාගාරය ඔහුගෙන් ඉවත් කොට වෙනත් වෛද්‍යවරුන්ට ලබාදී තිබුනත් පසුගිය සිකුරාදා මන්ත්‍රීවරුන් සංචාරය කළ අවස්ථාවේ ශල්‍යාගාරය ඉබි යතුරු දමා වසා දමා තිබෙනු දක්නට ලැබුණි.

එහිදී අදහස් දැක්වූ රොමේෂ් පතිරණ මන්ත්‍රීවරයා, අනෙක් ශල්‍ය වෛද්‍යවරුන්ටද අවස්ථාව ලබාදීම පිණිස ශල්‍යාගාරයේ කාලය වෙන්කිරීමට සිදු වූ බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා තමන් කළ විමසීමකදී සඳහන් කළ බව කියා සිටියේය.

පාලුවට ගිය අධි සත්කාර ඒකකය
ඡායාරූප ශීර්ෂ වැකිය, පාලුවට ගිය අධි සත්කාර ඒකකය

රෝහලේ සිටම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමතීමට මන්ත්‍රීවරුන් දෙදෙනා උත්සාහ දැරූහ.

සැත්කම් යළි ආරම්භ කිරීම පිණිස විශේෂඥ වෛද්‍යවරයාට සියලු පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දිනවල ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවලද නිරතව සිටියහ.

මේ පිළිබඳව විමසීම පිණිස රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතීමට අප දැරූ උත්සාහය සාර්ථක නොවීය.

(ගාල්ලේ සිට වාර්තාව සහ ඡායාරූප: රත්නසිරි නල්ලපෙරුම)