ක්‍රිකට් ක්‍රීඩාංගනවල 'වෙනත් ක්‍රීඩාවලට තහනමක් නෑ'

Carlton Super 7s in Galle
ඡායාරූප ශීර්ෂ වැකිය, අයිසීසීය පවසන උදාහරණ ගාල්ලේ ක්‍රීඩාංගනයට නොගැලපෙන බව විශ්ලේෂකයෝ පවසති

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන වල වෙනත් ක්‍රීඩා තරඟ පැවැත්වීමේ කිසිදු තහනමක් නැති බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

අයිසීසී යේ මාධ්‍ය ප්‍රකාශක සමි උල් හසන් ඒ බව කියා සිටියේ, පසුගියදා ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි ශූරතාවලිය පැවැත්වීම පිළිබඳව සංදේශය කළ විමසීමක දී.

සාමාන්‍යයෙන් ලොව පුරාම වෙනත් ක්‍රීඩා පැවැත්වෙන ක්‍රීඩාංගනවල ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ද පැවැත්වෙන බව පවසන ඔහු, අවශ්‍ය නම් ක්‍රිකට් තරඟ පැවැත්වෙන අවස්ථාවල වෙනම සකස් කරන ලද තණතිලි ඇතිරීමට ද අවසරය තිබෙන බව සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාව වැනි රටවල දැනටමත් එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ක්‍රීඩා විශ්ලේෂකයෝ, කෙසේ වුවත් ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ශ්‍රී ලංකාවට එවැනි ක්‍රමයක් යෝග්‍ය නොවන බව ද ප්‍රකාශ කරති.