මීපාවල ‘සුළු කුණාටු තත්වයක්’

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 'සුළු ටොනෙඩෝ තත්ත්වයක්'
ඡායාරූප ශීර්ෂ වැකිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 'සුළු ටොනෙඩෝ තත්ත්වයක්'

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයට අයත් මීපාවල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස දහ අටකට පමණ හානි සිදු වී ඇති බව මාධ්‍යවේදී සමන් සී. ලියනගේ පවසයි.

සුළං තත්වය නිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර ගස් කඩා වැටීම නිසා ඇතැම් තැන්වල විදුලි රැහැන් වලට ද හානි සිදු වී තිබේ.

සෙනසුරාදා රාත්‍රි දෙකට පමණ හමා ගිය සුළඟෙන් මීපාවල අමරසූරිය විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබෙන අතර කොස් ගසක් ඉදිරී වැටීම නිසා එම විද්‍යාලය ඉදිරි පිට ඉදි කර තිබූ බස් නැවතුම්පළට බරපතළ හානි සිදු වී තිබේ.

හානියට පත් බස් නැවතුම්පළ, දිවා කාලය පුරා පාසල් දරුවන් හා පාසලට දරුවන් රැගෙන එන මව්වරු රැදී සිටින ස්ථානයක් බව වැඩි දුරටත් පැවසෙයි.

එමෙන්ම මීපාවල අමරසූරිය විදුහල ආසන්නයේ පිහිටි වෛද්‍ය සායනය හා පෙර පාසල පැවැත්වෙන ගොඩනැගිල්ල අසලට විශාල තේක්ක ගසක් කඩා වැටී තිබේ.

මීපාවල අමරසූරිය විද්‍යාලය ඉදිරිපිට හානියට පත් බස් නැවතුම්පළ
ඡායාරූප ශීර්ෂ වැකිය, මීපාවල අමරසූරිය විද්‍යාලය ඉදිරිපිට හානියට පත් බස් නැවතුම්පළ

මීපාවල පන්සල අසල පිහිටි නිවසකට කොස් ගසක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවත්, එම අවස්ථාවේ නිවැසියන් ඉවතට පැන දිවි බේරා ගත් බවයි අසල්වාසියකු වන චන්ද්‍රසිරි හේවාවසම් ප්‍රකාශ කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර මහතා පවසන්නේ හමා ගිය සුළඟ 'සුළු කුණාටු තත්ත්වයක්' බවයි.