දොරපේ ඩීඑස්අයි කම්හලට අවසාන නියෝගයක්

කම්හලට එරෙහිව අලවා තිබුණි පෝස්ටරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර දෙකක් ඇතුලත ප්‍රදේශවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී තිබේ

මහජන සෞඛ්‍යයට හානි කර විෂ වායු මුදා හැරීම වහාම නතර නොකරන්නේ නම් ඉමදුව, දොරපේ සහ වැලිකොන්දේ පිහිටි ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ රබර් කම්හල් වසා දැමීමට සිදු වන බව ශ්‍රී ලංකා බලධාරීහු අනතුරු අඟවති.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ඒ බව කියා සිටියේ, කම්හල්වලින් පිට වන විෂ වායු පාලනය කිරීම සඳහා පියවර ගන්නා බවට කම්හල් බලධාරීන් ප්‍රතිඥා දුන් නමුත්, කම්හල් යලි විවෘත කිරීමෙන් අනතුරුවත් විෂ වායුව මුදා හැරෙන බවට ප්‍රදේශවාසීන් කරන චෝදනාව පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී.

එස්ආර්ආර්අයි සමාගමේ කම්හල් දෙකෙන් පිට වන විෂ වායුව පාලනය කිරීම පිණිස සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ පසුගිය අගෝස්තු මාසය මුල සතියේ පැවති රැස්වීමකදී ප්‍රතිඥා දුන්හ.

කම්හල්වලින් පිටවන විෂ වායුව නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් ක්ලාන්තය, හිසරදය වැනි රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බවට දොරපේ සහ වැලිකොන්ද ප්‍රදේශවාසීන් එම රැස්වීමේදී පෙන්වා දුන්හ.

'පිළිකා බහුල පළාතක්'

කම්හලෙන් පිට වන විෂ වායු පිළිබඳ රැස්වීම
ඡායාරූප ශීර්ෂ වැකිය, සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ ප්‍රතිඥා දුන්හ

අදාළ පියවර ගැනීම පිණිස කම්හලට ලබා දුන් කාල නියමය අවසාන වී පසුගිය සතියේ කම්හල් යලි විවෘත කෙරුණු අතර, ඒ සමඟම යලිත් විෂ වායුව මුදා හැරුණු බව අසල පිහිටි දොරපේ මහා විද්‍යාලයේ දරුවන් ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම බීබීසී සංදේශයට පැවසීය.

එවැනි විෂ වායුවක් මුදා නොහැරුණු බවයි, කම්හලේ කළමනාකරු කේබීඅයිඑම් පීරිස් පවසන්නේ.

එහෙත් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් සිය ව්‍යාපාරය පවත්වා ගෙන යා නොහැකි නම්, අනිවාර්යයෙන්ම කම්හල වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.

ගතව ගිය වසර දෙක ඇතුලත වැලිකොන්දවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී ඇති බව අතර, වැලිකොන්ද පිළිකා රෝග බහුල පලාතක් ලෙසින් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබෙන බව ප්‍රදේශයේ වෙසෙන මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේය.

ගිම්හාන නිවාඩුව හමාරයේ ලබන මාසයේ යළිත් වරක් පාසල් විවෘත වන විට කම්හල්වලින් පිටවන විශ් වායුව පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවුවහොත් කම්හල් දෙක වසා දමන බව ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු රැස්වීමේදී අවධාරණය කළේය.