ඩීඑස්අයි කම්හල නිසා 'ගම්වාසීන් පිළිකාවෙන් මැරෙනවා'

A protest against DSI factories in Dorape & Welikonda
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා'
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය

ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් දෙකකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව දකුණේ ගම්මාන කිහිපයක වැසියෝ පවසති.

එමෙන්ම කම්හලකින් පිටවන විෂ වායු ආශ්වාස කළ පාසල් දරුවන් ගණනාවක් මෑතක සිට වමනය, ක්ලාන්තය, ඇස් දැවිල්ල ඇතුළු විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටින බව ද දෙමාපියෝ පවසති.

ගාල්ලේ, දොරපේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියකු වන ඩීඑල් පියදාස බීබීසී සංදේශයට කියා සිටියේ, කම්හලෙන් පිටවන දුමාරය වැඩි වන දිනවලදී සිය දරුවන් දැඩිව අසනීප වන බවයි.

'ජනමාධ්‍ය නිහඬයි'

"හැමදාම උදේ දහය විතර වෙන කොට ළමය කියනවා ඔලුව කකියනවා කියල. එයා ඉස්කෝලේ යන්නේ නෑ සතියකට දවසක් දෙකක්," යනුවෙන් ද ඔහු කියා සිටියේය.

Protest against DSI factories in Dorape & Welikonda
ඡායාරූප ශීර්ෂ වැකිය, කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති

"ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා."

මේ අතර දොරපේ ට යාබද ඉමදූව වැලිකොන්න ප්‍රදේශයේ විසි හය දෙනෙක් මෑත කාලයේදී පිළිකා රෝගයට ගොදුරු වී තිබේ.

ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පසුගියදා දොරපේ ප්‍රදේශයේ විශේෂ රැස්වීමක් ද කැඳවා තිබුණු නමුත් ඩීඑස්අයි සමාගමේ කිසිම නියෝජිතයෙක් එයට සහභාගි වී නොසිටි බව ප්‍රදේශවාසියකු වන මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේය.

විශේෂයෙන්ම වැලිකොන්ද ග්‍රාමය අධික පිළිකා සහිත ප්‍රදේශයක් ලෙසින් වෛද්‍යවරුන් විසින් නම් කොට තිබෙන බව ද ඔහු පවසයි.

ඩීඑස්අයි ව්‍යාපාරයේ ප්‍රචාරක දැන්වීම්වලින් ලැබෙන ආදායම් අඩු වනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ ප්‍රශ්නය වාර්තා කිරීමෙන් මඟ හැර සිටින බව ද ප්‍රදේශවාසීහු සංදේශයට කියා සිටියහ.

ගමට ඉතා විශාල ආදායමක් ලබා දෙන එමෙන්ම රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කරන කම්හල් ඉවත් කරන මෙන් තමන් කිසිසේත්ම ඉල්ලා නොසිටින බව ගම්වාසීහු අවධාරණය කරති.

කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කිරීම ඔවුන්ගේ ඉල්ලීමයි.

මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ඩීඑස්අයි සමාගම් සමූහයේ බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.