ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපෑම් වන ලෙස පොලිස් ආඥා පනත යොදාගන්න බැහැ - මානව හිමිකම් කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිවිල් විරෝධතාවල දී පොලිස් ආඥා පනත යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඉන් දක්වා ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැතිබවට පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ය.
මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 14(1) අ, ආ, යන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥාපනත යොදාගැනීමෙන් වැළකිය යුතු බව ය.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරුකර ඇතැ යි මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවූ නඩු කිහිපයක තීන්දු උපුටා දක්වමින් මේ බව පැහැදිලිකර තිබේ.
1984 අංක 41 පනත මඟින් සංශෝධිත 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ 77(3) වගන්තියෙන් බලය ලබා දෙනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව වන අතර, ඒ අනුව පමණක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.
රටේ නීති සහ පරිපාලන ක්‍රියාකාරකම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් නිර්දේශ කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් තම කොමිෂන් සභාව වෙත පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Commission of Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Commission of Sri Lanka








