මර්දනය තුළින් ජනතා විරෝධයන් නතර කළ හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දැවැන්ත සමාජ අරගලයක් ඇතිවිය හැකි බවට මත පළවෙමින් තිබියදී , අරගලකරුවන් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් දිගින් දිගටම මර්දනය කිරීමේ උත්සාහයක පොලිසිය නිරතව සිටින බව ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි.
අඛණ්ඩ මර්දනය තුළින් අරගලය හෝ ශිෂ්‍ය සංගම් මර්දනය කළ හැකිද? සමාජය තුළ මේ සම්බන්ධ මේ වන යම් කතාබහක් ඇති වී තිබේ.
දැවැන්ත සමාජ කැරැල්ලක්....!
මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී දැවැන්ත සමාජ කැරැල්ලක් ඇතිවිය හැකි බවයි.
ආර්ථිකයේ සෘණ වර්ධනය මේවන විට 10%කට ආසන්න වී ඇති බවත් මේ හේතුවෙන් රැකියා අහිමි වෙමින් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
"කර්මාන්ත වැහෙනවා, සේවා අහිමි වෙනවා. රැකියා අහිමි වෙනවා. ඒ අනුව මතක තබා ගත යුතුයි අපි සියලු දෙනාම, මේ ඇතිවෙලා තියෙන සටන් විරාමය ඊළඟ වටයේදී එන්නේ දැවැන්ත සමාජ කැරැල්ලක් හැටියටයි එන්නේ" පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.
"අද මෙ රටේ සුළු හා මධ්‍ය පාරිමාණ ව්‍යාපාර දශ ලක්ෂයක් තියෙනවා. ඒ දශ ලක්ෂයෙන් 90,000 පමණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ 90,000 න් 27,000ක්ම මේ වෙන කොට වැහිලා ඉවරයි. ඊළඟ මාස 3 නැත්නම් 4 ඇතුළත මේ ඉතිරි ව්‍යාපාරත් මේ අලුත් බදු එක්ක, මේ අලුත් පොලී අනුපාත එක්ක, මේ අලුත් උද්ධන ක්‍රියාකාරීත්වයත් එක්ක, ඉතාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට නියමිතයි." මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි...!
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ( ඔක්තෝබර් 18 වැනිදා) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කර තිබු විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුහු 8 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ, මෙම සිසු විරෝධතා මර්දනය නොකරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුලු සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලා තිබී පසුබිම තුළය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සිසූහූ මහවැසි නොතකා විරෝධතාවයේ නිරත වුහ.
ඒ, "වසන්තලා...සිරිධම්මලා නිදහස් කර මුදා හරිව්..මෙන්ම "හොරාකාපු සල්ලි වලින් ජනතාවට සහන දියව්" යනුවෙන් සටන් පාඨ කියමිනි.
පොලිසියේ බාධ කිරීම් හේතුවෙන් අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයන් ඇතිවිය.
විරෝධතාවයේ නිරත වූ සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම තම කනස්සල්ලට හේතු වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩි දුරටත් කියා සිටියේය.ඔවුන් කියා සිටියේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ඇති සියලුම චෝදනා ඉවත් කළ යුතු අතර අත් අඩංගුවට ගත් අය කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.
"ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම බලධාරීන්ගේ යුතුකමකි." ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩි දුරටත් අවධාරණය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
කැලණියේ විරෝධතාව නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නිරීක්ෂකයින් යොදවා තිබීම මෙවර කැපී පෙනෙන සිද්ධියක් විය.
පොලිසිය කියන්නේ කුමක්ද?
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්තෝම්බර් 18 වන දින සවස් කාලයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ සිසුන් පිරිසක් කැලණිය විශ්වවිද්‍යාලය අසළින් කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ විරෝධතා පෙළපාලිය පැවැත්වීමට අවසර ලබාගෙන නොමැති බැවින් පෙළපාලිය නොපවත්වන ලෙස එම පිරිසට දැනුම් දුන් බවයි.
මාර්ගයේ ගමන් කරන ජනතාව සහ රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් ගමන් කිරීම හේතුවෙන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට අයුතු ජන රාශියක සාමාජිකයින් වීම, රජයේ නිලධාරීන්ගේ අණට කීකරු නොවීම සම්බන්ධව ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 7 දෙනෙකු වත්තල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22 - 27 අතර පසුවන්නෝ වෙති.ඔවුන් කිරම, ගල්ගමුව, මතුරාගොඩ, හාරිස්පත්තුව, ඇඹිලිපිටිය, මාදම්පේ හා බුල්නෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආක්‍රමණශිලී මර්දනයක්...!
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද බීබීසිය සමඟ ප්‍රකාශ කළේ, උද්ඝෝෂණවලදී පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලූවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පැමිණීමෙන් පසු අනුගමනය කරන ප්‍රවේශය ඉතාම මර්දනකාරී එකක් බව පැහැදිලි වන බවයි.
"සාම්ප්‍රදායිකව පොලිසිය බැරියර් එකක් දාලා පොලිසිය ආරක්ෂාකාරී විදිහකට (defensive) තමා ඒවට ප්‍රතිචාර දැක්වුයේ. ගොඩනැගිල්ලකට ඇතුලුවීමට යන අවස්ථාවකදී, නැතිනම් උද්ඝෝෂණය තීව්‍රවන අවස්තාවකදී , විශේෂ අවස්ථාවකදී ඒක විසුරුවා හරින එකක් තමා අපි දැක්කේ. නමුත් දැන් උද්ඝෝෂකයින්ටත් වඩා වැඩි පිරිසක් සහභාගි කරගෙන පොලිසිය හා ආරක්ෂක අංශ ආක්‍රමණශීලි විදිහට සාමකාමී උද්ඝෝෂණ අතරට කඩා වදිමින් ඒවා විසුරුවා හරින ක්‍රමයක් තමා පෙනෙන්න තියෙන්නේ." ඔහු පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කථිකාචාර්යවරයා සඳහන් කළේ, පොලිසිය දැන් භාවිත කරනු ලබන්නේ, පොලිස් ආඥාපනත කියන ඉතාම පැරැණි ආඥා පනතක් බවයි. "ඒකේ නිතිමය තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් තියෙනවා." ඔහු පැවසීය.
"ප්‍රවණතාවක් විදිහට අපි දැකපු දෙයක් තමා පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගන්න විරෝධතාකරුවන්ව අධිකරණය ඇප මත මුදා හරින එක . ඒක දිගටම පේන්න තියෙනවා. පොලිසිය ඉදිරිපත් කරන හේතු සම්බන්ධයෙන් ලොකු නීතිමය වලංගුතාවයක් තියෙනවා කියලා කියන්න බැහැ.ඒ වගේම මේවට විරුද්ධ මූලික අයිතිවාසකම් පෙත්සම් ඉදිරිපත් වෙලා තියෙනවා. නීතියම තලයේ අභියෝගයට ලක්වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය." ඔහු කියා සිටියේය.
- ලෝක මානසික සෞඛ්‍ය දිනය: 'මූලික අවශ්‍යතා හිඟ වුනාම මානසික ආතතියට සහ පීඩනයට පත්වීමට මිනිසුන්ට අමුතුවෙන් වෙන හේතු අවශ්‍ය වෙන්නේ නැහැ'
- ඔක්තෝම්බර් 9: ගාලුමුවදෙරදී විරෝධය විසුරුවා හැරියේ කුමන පදනමින්ද? මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
- ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙනඑන්න- මානව හිමිකම් මහ කොමසාරිස්
ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත විරෝධතාකරුවන්ට විරුද්ධව යොදා ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැඳවා තබා ගැනීම හා පොලිසිය ආක්‍රමණකාරී ලෙස මර්දනය ක්‍රියාත්මක කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුලු සංවිධානවල අවදානය යොමු වී ඇති බවටද ඔහු අප වෙත අවධාරණය කළේය.
"එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබද විශේෂ නියෝජිතවරිය, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ඇතුලු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වගේම තානාපති කාර්යාලවල විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව අතසන් කරලා තියෙන මානව හිමිකම් සම්මූතීන් උල්ලංඝනය කර ඇතැයි ජාත්‍යන්තරව යම් කිසි මතයක් ගොඩ නැගී ගෙන යනවා." ඔහු පැවසුවේය.
කථිකාචාර්ය සුමිත් චාමින්ද අවධාරණය කළේ , "මෙවැනි මර්දනයකින් ජනතා විරෝධය මැඬපවත්වන්න පුලුවන් ද කියන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඉතිහාසයෙන් අපට පෙන්වන සාක්ෂි අනුව නම්, එහෙම මර්දනය කරන්න, මැඬ පවත්වන හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව කියලා කියන්නේ,මියන්මාරය වගේ මිලිටරි පාලනයක් තිබුණු රාජ්‍යයක් නෙමේ. යම් ආකාරයක අඩු තරමින් ක්‍රමවේදයක් වශයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය වගේම, සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ රටක්. එවගේම ලංකාවේ ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තිය සමිති, සිවිල් සමාජ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා." යනුවෙනි.
"අපි ජීවත් වෙන්නේ බාහිර ලෝකයට විශාල වශයෙන් විවෘතවුණු ලෝකයක අපිට හුදෙකලාව ජීවත් වෙන්න හැකියාවක් නැහැ. උතුරු කොරියාව හෝ මියන්මාරය වගේ පවතින්න බැහැ ශ්‍රී ලංකාවට.අභ්‍යන්තරය ගත්විට, සමාජ විරෝධය එළිපිට දක්වන එක පහළ බැහැල තිබ්බත් පහළ තලයේ විශාල විරෝධයක් උත්සන්න වෙමින් තිබෙනවා.සාගරයේ මතු පිට දියරැලි දිහා බලලා අපිට සාගරයේ හැසිරීම ගැන කියන්න බැහැ. මොකද සාගරය ගැඹුරින් දියවැල් තියෙනවා. (Deep water waves) වඩා ගැඹුරින් යන දිය රැල්ල දිහා තමා බලන්න ඕනේ.අපි දේශපාලන විශ්ලේෂණයේදී" ඔහු පෙන්වා දුන්නේය.
"විශේෂයෙන්ම තරුණ පරම්පරාව තුළ අද ඇතිවෙලා තිබෙන අපේක්ෂා භංගත්වය, ආර්ථික වශයෙන් කම්කරුවන්, ගොවියන්, විරැකියාවෙන් ඉන්න තරුණ තරුණියන්, එතකොට ග්‍රාමීය කෘෂි කාර්මික ප්‍රජාව නාගරික දිළින්දන්, මධ්‍යම පාන්තික පහළ ස්ථරවලට අයත් කොටස් තමන්ගේ පැවැත්ම පිළිබඳ තමයි අද පොර බඳින්නේ. සාමාජයේ එහෙම විරෝධයක් මතු වෙන එක වළක්වන්න බැහැ"
ඔහු තව දුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව එකගත්වය පළකොට ඇති වැඩ පිළිවෙළ හේතූවෙන් පහළ සමාජ පන්තින්හී ජනතාව තවදුරටත් පීඩනයට ලක් වනු ඇති බවට ආණ්ඩුවම ප්‍රකාශ කර ඇති බවයි.
"දේශපාලන ස්ථාවරත්වය කියන එක බොහොම සරලව තමා රනිල් වික්‍රමසිංහ මහත්තයා තේරුම් අරන් තියෙන්නේ. ඒකයි ඉතාම මර්දනකාරී විදිහට විරෝධතා මැඬ පවත්වලා, පාර්ලිමේන්තුව තුළ කරන යම් යම් ඔලුගෙඩි මාරු තුළින් යම් විදිහකින් ස්ථාවරත්වයක් ඇති කර ගන්න පුලුවන් කියලා හිතින්නේ"
"නමුත් දේශපාලන ස්ථාවරත්වයක් කියන්නේ ඊට වඩා ගැඹුරු අදහසක්. දේශපාලන ස්ථාවරත්වයක් සඳහා සමාජයේ යම් කිසි සම්මුතියක් , සමාජ එකඟතාවක් ඇති කර ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැතිව මර්දනයෙන් වගේ මිනිසුන්ව හිරකරලා ඇති කරන ස්ථාවරත්වයක් කියන්නේ එච්චර දීර්ඝ කාලීනව පවතින්න පුලුවන් ස්ථාවරත්වයක් නෙමේ. මේ මර්දනයෙන් සිදුවන්නේ, ඉදිරියේදී ඇතිවෙන්න යන දේශපාලන අර්බුදය, ඒ වගේම සමාජ කැළඹිලි සහගත තත්ත්වය තවත් වර්ධනය වෙන එක මිසක් තවත් එක යටපත් වෙන එක නෙමෙයි." කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද අවසාන වශයෙන් අවධාරණය කළේය.
ප්‍රසිද්ධ ස්ථානවල අදහස් පළ කරන්න පුලුවන්,විරෝධතා පළ කරන්න පුලුවන්…!
බීබීසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ, "මම විශ්වාස කරන එක තමයි, ප්‍රසිද්ධ ස්ථානවල අදහස් පළ කරන්න පුලුවන්, විරෝධතා පළ කරන්න පුලුවන්. පොලිසිය කියන තර්කයක් තමයි ප්‍රසිද්ධ ස්ථානවල විරෝධය පළ කරන කොට ට්‍රැෆික්. ගමනා ගමනයට බාධා වෙනවා කියලා."
ඔහු පෙන්වා දුන්නේ "මෙතනදී පොලිසිය තේරුම් ගන්න ඕනේ අදහස් පළ කරන්න අවකාශය දෙන එක ඉතාම වැදගත්." බවය."අදහස් ප්‍රකාශ කරන්න අවකාශය දෙන එක ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඉතාම වැදගත්" සාලිය පීරිස් අවධාරණය කළේය.
"පොලිසිය භාවිත කරනවා පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන. ඒ යටතේ එහෙම පෙරහැරක් පවත්වන කොට, පැය 6කට පෙර දැනුම් දීමක් කරන්න ඕනේ. සිංහල පනතේ භාවිත වෙන්නේ පෙරහැරක් පවත්වන කොට කියලා. පොලිසිය දැන් අර්ථ නිරූපනය කරලා තියෙනවා පෙළපාලියකටත් ඒක අදාළයි කියලා." ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
කොළඹ, ගාලු මුවදොර වැනි ප්‍රසිද්ධ ස්ථානයක විරෝධතාවක් කිරීමට නීතිමය අවහිරයක් නොමැති අතර ඒ සඳහා සහභාගීවන පුද්ගලයන් රැගෙන යන්නේ කවුරුන්ද යන්න බලධාරීන්ට තීරණය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.
ගාලු මුවදොර පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය පිළිබඳවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් විසින් මීට පෙර දැඩිව විවේචනය කරනු ලැබීය.
ඔහු විමසා සිටියේ මෙවැනි හැසිරීම් සමඟ ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් වාර්තාව ප්‍රශ්න කිරීම පුදුමයක්ද? යන්න පිළිබඳවයි.
සාමකාමී උද්ඝෝෂණවලට පොලිසියෙන් ලැබෙන අසමාන ප්‍රතිචාර තුළින් පාලකයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යන්න පිළිබඳව ද ඔහු එහිදී ප්‍රශ්න කළේය.













