අධි උද්ධමනය පාලනයට පොලී අනුපාත තවත් ඉහළ දැමීමට සිදුවන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විනිමය අර්බුදය මෙන්ම අවිනිශ්චිත හා අස්ථාවර දේශපාලන පසුබිම මැද ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ගණන් දෛනිකව පාහේ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
ආර්ථික විශේෂඥයින් පවසන්නේ මෙය අධි උද්ධමන තත්ත්වයක් බව යි. පවතින තත්ත්වය සමනය කිරීම සඳහා පොලී අනුපාත 25% දක්වා ඉහළ දැමිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකාවේ පැනනැගී ඇති අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමහරහා ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරත් ඉහල දැමීම, බදු ඉහළ දැමීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අඟහරුවාදා ප්‍රකාශ කළේය.
"උද්ධමනය පාලනය කර ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතුයි," ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ඇන්-මේරි ගුල්ඩ්-වුල්ෆ් අන්තර්ජාල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසීය.
"නම්‍යශීලී විනිමය අනුපාතවල අවශ්‍යතාවය අපි දකිමු," යනුවෙන් වැඩිදුරත් පැවසීය.
මේ වන විට මාර්තු 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියට 43කින් අවප්‍රමාණය වී ඇත.
පවතින වාතාවරණය තුළ ආහාරපාන පමණක් නොව සිමෙන්ති කොට්ටයේ සිට සබන් කැටය දක්වාම භාණ්ඩ මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත. ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළයෑම සෑම භාණ්ඩ හා සේවාවකම මිල ගණන් ඉහළයෑමට හේතුවී තිබේ.
භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළට
ආහාරපාන, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ මෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ගණන් ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත.
නැවත වරක් මිල ඉහළ ගිය භාණ්ඩ ලැයිස්තුවට අලුතින්ම එකතු වූයේ සිමෙන්ති ය.
ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමුණි. ආනයනික සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2850 කි. දේශීය සිමෙන්ති කොට්ටයක් රුපියල් 2750කට අලෙවි වෙයි.
මෙරට සාමාන්‍ය සුපිරි වෙළෙඳසැලක මිල දර්ශනයට අනුව,
- සම්බා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 260
- පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 495
- කැකුළු සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 205
- දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 රුපියල් 238
- දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක් රුපියල් 299
- ලොකු සැමන් ටින් එකක් රුපියල් 475
- මුං ඇට කිලෝග්‍රෑම් 01 රුපියල් 905
- තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01 පැකට් එකක් රුපියල් 290
- පාන් ගෙඩියක් රුපියල් 140 - 220
- තලපත් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1980
- කෙලවල්ලා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1750
- හුරුල්ලා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 820
- පරව් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1990
- කුම්බලාවා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 1140
- සූඩයා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 230
- ශීතකරණ ලද කුකුළු මස් කිලෝග්‍රෑම් 01 රුපියල් 930
- මාරි බිස්කට් පැකැට් 01ක් රුපියල් 60
- ගස්ලබු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 210
- කොමඩු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 150
- අඹ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 440
සබන් රාක්ක හිස්වෙයි
රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග සබන් මිල ද සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ.
සුපිරි වෙළෙඳසැල්වල ඇති පැරණි මිල සඳහන් වූ සබන් කැට මිල දී ගැනීමට පාරිභෝගිකයින් ලහි ලහියේ උත්සාහ කරන ආකාරය මේ දිනවල සුලබව දැකිය හැකි ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
පාරිභෝගිකයින් විසින් සබන්, රෙදි සෝදන කුඩු, ඇඟ ගල්වන සබන් දියර, දත් බෙහෙත් ආදිය සතියක හෝ මාසික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් මිලදී ගැනෙන ආකාරය සාමාජ මාධ්‍යවල පවා විශේෂ අවධානයට ලක්විය.
මිල ඉහළයෑමට අනුව රුපියල් 75කට පමණ පැවැති සබන් කැටයක් දැන් රුපියල් 175 පමණ වේ. රෙදි සෝදන සබන් කැටයක මිළ ද රුපියල් 135ක් පමණ දක්වා ඉහළගොස් තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ලොව තෙවැනි ඉහළම උද්ධමනය ශ්‍රී ලංකාවේ ද?
ශ්‍රී ලංකාවේ උද්ධමනය ලොව තෙවැනි ඉහළම අගය වන අතර, එය 119%ක් පමණ බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් පවසයි.
ඔහුගේ විශ්ලේශනයට අනුව උද්ධමනය ඉහළම රට ලෙස පළමු ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමනය 207%කි. දෙවැනි ස්ථානයේ පසුවන ලෙබනනයේ උද්ධමනය 150%කි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මාර්තු මාසයේ ජාතික පාරිභෝග මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 21.5 වන අතර ආහාර උද්ධමනය සියයට 29.5කි.
කොළඹ පාරිභෝග මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ මතුපිට උද්ධමනය 18.7%කි.

ඡායාරූප මූලාශ්‍රය, Stats dept of Sri Lanka
අධි උද්ධමනය
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කරන්නේ ලංකාව සිටින්නේ "අධි උද්ධමනයක" බව යි.
"මේක තමා අපි කියන්නේ හයිපර් ඉන්ෆ්ලේෂන් කියලා. හයිපර් ඉන්ෆේලේෂන් එක ආවම ඒක කොන්ට්‍රෝල් කරන්න අමාරු යි. කලින් පොලී අනුපාත වැඩි කළා නේ උද්ධමනය පාලනය කරන්න. ඒකේ කිසිම බලපෑමක් නැහැ කියලා ඔප්පු වෙනවා නේ. 7%කින් වැඩි කරපු ප්‍රතිපත්ති පොලී අනුපාත තව 18%කින් විතර වැඩි කරන්න ඕනේ. මේ අධි උද්ධමනය පාලනය කරන්න 25%ක විතර පොලී අනුපාතයකට යන්න වෙනවා. තැන්පතු අනුපාත 25% දක්වාවත් වැඩි කරන්න ඕනේ. බැංකු ණය පොලිය 30% - 35% විතර කරන්න වෙයි. ව්‍යාපාරික කේෂත්‍රයට වන බලපෑම ගැනත් බලන්න වෙයි.
"අන්තිම නරක තැනක අපි ඉන්නේ. මේ යන විදිහට ශ්‍රී ලංකාව 207% ඉන්ෆ්ලේෂන් එකට යනවා කියන එක සමහර විට තව මාස දෙක තුනකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්," මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
"මෙහෙම වෙලා තියෙන වෙන රටවල් මේ වෙනකොට ආර්ථිකයට විසඳුම් හොයනවා. අපි තාම හොයනවා දේශපාලනයට විසඳුම්. ආර්ථික ප්‍රශ්නවලට කිසිම විසඳුමක් හොයන හැඟීමක්වත් නැහැ. නූල කැඩිච්ච සරුංගලයක් වගේ හුළඟ හමන හමන පැත්තට තල්ලු වෙනවා," මහාචාර්ය පෙරේරා පවසයි.
"අද වෙනකොට අපේ සංචිත බැහැල තියෙනවා ඩොලර් බිලියන 1.9කට. එකෙන් බිලියන 1.6ක්ම චීන විනිමය හුවමාරුවෙන් ලැබිච්ච මුදල්. එතකොට අපිට බිලියන දශම 3යි තියෙන්නේ ආනයනවලට," ඔහු පෙන්වා දුන්නේ ය.
"මේ ප්‍රශ්න ගැන කිසි වගේ වගක් නැතිව ආණ්ඩුව දුවන්නේ. තාම ඔලු මාරු කරලා බලය ස්ථාවර කර ගන්න උත්සහ කරනවා මිසක් එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ ආර්ථිකය ගැන. මේගොල්ලෝ දේශපාලන ප්‍රශ්නයට විසඳුම් හොයනවා මිසක් ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හොයන්නේ නැහැ. තව දවස් තුන හතරක් යනකොට තෙල් ටික නැතිවුණොත් රට අක්‍රීය වෙනවා."
උද්ධමනය ඉහළ ගියේ ඇයි?
උද්ධමනය ඉහළ යෑමට බලපෑ හේතු පිළිබඳව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දේශීය අදායම් ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න මාධ්‍ය හමුවේ අනාවරණයක් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ බදු කපාහැරීම් තුළ රජයේ අදායම අඩුවූ බව යි.
"2020 දී සියලු බදු කපාහැරීම් තුළ බිලියන 500 දක්වා මේ ආදායම අඩු කෙරුවා. එතකොට 20/21 අවුරුදු දෙක තුළ විතරක් බිලියන 1200ක පමණ බදු එකතු කිරීමේ අඩු කිරීමක් කරලා තියෙනවා. අන්න ඒ එකතු කිරීමේ අඩු කිරීමට සාපේක්ෂව රුපියල් 1.7 ට්‍රිලියන් මුදල් අච්චු ගහලා තියෙනවා. මේ බදු ටික එකතු කෙරුවා නම්, මේ ගජ මිතුරන්ට සහන දුන්නේ නැත්නම්, මේ සමාන ප්‍රමාණයේ සල්ලි අච්චු ගහලා මේ උද්ධමනය ඉහළ නඟින්න කටයුතු වෙන්නේ නැහැ," යනුවෙන් ඔහු චෝදනා කළේ ය.
බීජ හිඟයක් ඇතිවෙයි ද?
පවතින වාතාවරණය තුළ ගොවීන්ගේ ආදායම් ද බොහෝසෙයින් පහත වැටී තිබේ. යල කන්නයේ වගාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජලය නිකුත් කර ඇතත්, වගාව සඳහා ගොවීන්ගේ සූදානම මන්දගාමී වී තිබේ.
මීට හේතුවී ඇත්තේ පොහොර ගැටලුව, බිත්තර වී සොයාගැනීමේ ගැටලුව, සහ වගාව සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට නොහැකිවීම යි.
ඉදිරි වගාව සඳහා බිත්තර වී ඇතුළු බීජ වර්ග සොයාගැනීමේ ගැටලුවක් ඇතැයි මහාචාර්ය පෙරේරා ද සඳහන් කළේ ය.
"දැන් හාල් ගත්තාම, අපිට ඊළඟ කන්නයට වී නැහැ. බිත්තර වී ආනයනය කරන්න වෙනවා. බිත්තර වී පිටරටින් ගෙනල්ලා මේ රටේ සමස්ථ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන්. අපි දන්නවා රෙඩ් ලේඩි පැපොල් ගෙනල්ලා වෙච්ච දේ, දොඩම් ගෙනල්ලා වෙච්ච දේ, පේර ගෙනල්ලා වෙච්ච දේ අපි දන්නවා. ඊළඟට ගමේ දොඩම් නැහැ. ගමේ පේර නැහැ. ගමේ පැපොල් නැහැ. වී ටිකටත් මේක වුණොත් මොනව වෙයි ද? මේවා සරල ප්‍රශ්න නෙමේ, සංකීර්ණ ප්‍රශ්න වෙන්න පුළුවන්."










