ණය දීමට පෙර ණය තිරසරබව නැවත ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතුයි - IMF කියයි

මුදල් අමාත්‍ය අලී සබ්රී හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිජෝජිත හමුව

ඡායාරූප මූලාශ්‍රය, Ali Sabri

ඡායාරූප ශීර්ෂ වැකිය, මුදල් අමාත්‍ය අලී සබ්රී හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිජෝජිත හමුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මූලික අදියරේ සාකච්ඡා පැවැත්වෙනබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවට සිය ණය තිරසර මාවතක් කරා ගෙන යා හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය වෙතැ යි ද IMF එහිදී ප්‍රකාශ කළේ ය.

සුවිශේෂී මූල්‍ය ආධාරයකින් හෝ පැහැරහැරීමකින් තොරව වත්මන් සහ අනාගත ගෙවීම් වගකීම් ඉටුකිරීමට රජයකට හැකි නම්, එරට රාජ්‍ය ණය තිරසර බව සලකනු ලැබේ.

"ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු ය," එම අරමුදල සඳහන් කළේ ය.

මුදල් අමාත්‍ය අලී සබ්රී හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිජෝජිත හමුව

ඡායාරූප මූලාශ්‍රය, Ali Sabri

ඡායාරූප ශීර්ෂ වැකිය, මුදල් අමාත්‍ය අලී සබ්රී හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිජෝජිත හමුව

ශ්‍රී ලංකා නියෝජිත පිරිස හා IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර සාකච්ඡා

IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, සහ දැනට එක්සත් ජනපදයේ වොෂින්ටන් DCහි සංචාරයක නිරත ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිස, ආර්ථික හා ප්‍රතිපත්තිමය වර්ධනයන්, බලධාරීන්ගේ ප්‍රතිපත්ති සැලසුම්, සහ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ විකල්පයන් පිළිබඳව අප්‍රේල් 18 වැනිදා හමුවී සාකච්ඡාකර තිබේ.

මුදල් අමාත්‍ය අලී සබ්රි මීට පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාව IMF ඇතුළු විදේශීය මුලාශ්‍රයන්ගෙන් වෙතින් ඩොලර් බිලියන 4ක් අපේක්ෂා කරන බව යි.

අමාත්‍ය අලී සබ්රි IMF වෙතින් හදිසි මූල්‍ය උපකරණයක් (RFI) සඳහා ඉල්ලීමක් කර ඇති අතර, හදිසි මූල්‍ය ආධාරයක් සඳහා ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව IMF අමාත්‍ය අලී සබ්රි වෙත දන්වා ඇතැ යි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

අලී සබ්රි ඉන්දීය මුදල් ඇමති හමුව

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Finance India

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය අලී සබ්රි ඉන්දීය මුදල් ඇමති හමුව

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිසක් ද අප්‍රේල් 18 වැනි දින වොෂින්ටන් DCහි IMF මූලස්ථානයේ දී මුදල් අමාත්‍ය අලි සබ්රි හමුවී ඇත.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

සීතාරාමන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට අමාත්‍ය අලි සබ්රිට සහතික වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ ජාතීන් දෙක එක්ව ඉදිරියට යන විට ශක්තිමත් බැඳීම් ගොඩනැගීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය අලි සබ්රි අමාත්‍යවරයා වෙත තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි මට්ටමක

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව - විශේෂයෙන්ම දිළිඳු ජනතාව සහ අවදානමට ලක්වූවන් - විඳින දුෂ්කරතා පිළිබඳව දැඩි කණස්සල්ලට පත්ව සිටින බව IMF නිවේදනය කළේ ය.

IMF ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා සිය අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව යි.

2022 මාර්තු මාසයේ IMF ප්‍රකාශයට පත් කරන ලද IV වගන්තියට අදාල වාර්තාව මඟින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි බව පැහැදිලි බවට ඔවුන් පවසයි.

"රටක ණය තිරසර නොවන බව IMF තීරණය කරන විට, එය විසින් ණය දීමට පෙර ණය තිරසරබව නැවත ස්ථාපනය කිරීමට අදාල රාජ්‍යය පියවර ගත යුතු ය."

"මේ අනුව, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනක් අනුමත කිරීම සඳහා ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වේ," යනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත්කළ නිවේදනයකින් පැවසීය.

"ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ නිශ්චිත සැලසුම, වැඩසටහන් ඉලක්ක, සහ කොන්දේසි පිළිබඳව බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර පුළුල් සාකච්ඡා හරහා එකඟ වනු ඇත. IMF ප්‍රතිපත්ති මඟින් ඊට මඟ පෙන්වනු ලැබේ."

කෙසේවෙතත් දෙපාර්ශවය අතර සාකච්ඡා තවමත් පවතින්නේ මූලික මට්ටමේ බව IMF සඳහන් කළේ ය.

IMF ප්‍රකාශ කළේ ණය තිරසරභාවයේ පූර්ව කොන්දේසිය හදිසි මූල්‍යකරණය සඳහා වන හදිසි මූල්‍ය උපකරණවලට ද අදාල වන බව යි.

"භාණ්ඩ මිල කම්පන, ස්වභාවික විපත් සහ ගැටුම්වලින් පැන නගින හදිසි ගෙවුම් ශේෂ අවශ්‍යතාවල දී වේගවත් මූල්‍ය ආධාර සැපයීම සඳහා RFI වැනි IMF හදිසි මූල්‍යකරණය භාවිත කෙරේ. එය සැලසුම් කර ඇත්තේ පූර්ණ ආර්ථික වැඩසටහනක් අවශ්‍ය නොවන හෝ කළ නොහැකි අවස්ථාවන් සඳහා ය."

ණය තිරසරභාවය විසඳනු ඇති බවට ප්‍රමාණවත් සහතිකයක් ලබාගත් පසු, ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍ය උපකරණයක් (RFI) සඳහා සලකාබැලීම් පරීක්ෂා කිරීමට සිදුවනු ඇතැ යි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ ය.

මේ අතර අමාත්‍ය අලී සබ්රි ඇතුළු ශ්‍රී ලංකා දූත මණ්ඩලය ලෝක බැංකු නියෝජිතයින්ද හමුවී ශ්‍රී ලංකාවේ වර්ථමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පමා වැඩියි...

පවතින උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා IMF සහය ලබාගත යුතු බව ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට වසර දෙකකට පමණ පෙර සිට රජයෙන් ඉල්ලා සිටියත් ආණ්ඩුව ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවට විපක්ෂය චෝදනා කරයි.

එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ආර්ථිකය ගොඩගැනීමට මාර්ග සැලැස්මක් ඉදිරිපත් කරමින් දිගින් දිගටම පවසා සිටියේ ආණ්ඩුව IMF නොයන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පිළිගත්තේ, පවතින අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා මීට පෙර IMF වෙත යෑමට තිබූ බව යි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, අර්බුදය කල්තියා දුටුවා නම් IMF සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයි ද යන්න මීට පෙර ආණ්ඩුවෙන් විමසා සිටියේ ය.

"මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත්, ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18කට පෙර සිටම සඳහන් කළා," ඔහු පෙන්වා දුන්නේ ය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහන ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂක පසුගිය දා ප්‍රකාශකර සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව යි.

"මේ වන විට සමාජය මුහුණදෙන විවිධ ගැටලු අතුරින් අපේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම යි. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බැහැ. ඒ නිසා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා," නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

එහි මූලික සහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල් ඇමතිවරයෙකු, දීර්ඝකාලීන අත්දැකීම් සහිත නව මහ බැංකු අධිපතිවරයෙකු, සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙකු පත් කිරීමට තමා කටයුතු කළබැව් ඔහු ප්‍රකාශ කළේ ය.

"ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් හා ඉහළ පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු, ආර්ථික කළමනාකරණය පිළිබඳ රජයට හා මට උපදෙස් දීමට පත්කර තිබෙනවා. ඒ වගේම රජයට සහාය දීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයන් පිරිසකුත් පත්කොට තිබෙනවා. මේ කණ්ඩායම් සමග එක්ව අප විසින් රටේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා වැදගත් තීන්දු තීරණ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ ගනු ලැබුවා," ජනපති සඳහන් කළේ ය.

"අද වන විට අපේ රට බරපතල විදේශ විනිමය හිඟයකට හා ණය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ අවස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමය ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදාගන්න ඕන. එසේම හදිසි විදේශ විනිමය අවශ්‍යතා සඳහා මුදල් සොයා ගන්න ඕන.

"කෙටිකාලීනව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට අපට ඇති අපහසුතාව අපි මේ වන විටත් ණය හිමියන්ට දැනුම් දී තිබෙනවා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා," ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ඉන්ධන, ඖෂධ, සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබී ඇතැ යි පැවසූ ඔහු, ඊට අමතරව ගෑස්, පොහොර, කිරිපිටි, හා ඖෂධ ආනයනය සඳහා සහාය ලබාදීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටින බව ද සඳහන් කළේ ය.

"ජනතාවට අවශ්‍ය තෙල් සහ ගෑස් මේ වන විටත් රටට ලැබෙමින් පැවතුණත්, පසුගිය දිනවල ඒවා නිසියාකාරව බෙදාහැරීම සිදුවී නැහැ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ දීර්ඝ විදුලිය කැපීම්වලට හේතුව වූයේත් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය යි. මේ දුෂ්කරතා මධ්‍යයේ වුවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබා ගෙන ඉදිරි කාලයේ දී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමාකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා," ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.