ලංකාවේ රාජ්‍ය ණය බර වැඩිවීම ගැන IMF වෙතින් අනතුරු හැඟවීමක්

Sri Lanka going down

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා ණය අඩු කිරීමට පිළිගත හැකි ක්‍රමවේදයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය 2022 පෙබරවාරි 25 වැනි දින ශ්‍රී ලංකාව සමග IV වැනි වගන්ති උපදේශනය අවසන් කරමින් නිකුත් කළ නිවේදනය මගිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවනු ඇති බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සමග කළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය අනාවරණය කළේ ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළගොස් ඇති බව යි.

ඊට අමතරව මෙම ණය කළමනාකරනයට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගතයුතු බව ද විධායක මණ්ඩලය අවධාරණය කළේ ය.

2020 සහ 2021 වසරවල වාර්ෂික මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ඉක්මවා ගියේ ය.

වසංගතයට පෙර සිදුකළ බදු අඩු කිරීම්, වසංගතයෙන් පසු දුර්වල වූ ආදායම් කාර්යසාධනය, සහ වසංගතයට එරෙහිව සටන් කිරීමට දරන ලද වියදම් ඊට හේතු විය.

IMF විධායක මණ්ඩලය පවසන්නේ, තිරසාර නොවන මට්ටම් දක්වා ඉහළගොස් ඇති රාජ්‍ය ණය සහ අඩු ජාත්‍යන්තර සංචිත හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අභියෝගවලට මුහුණ දෙන බව යි. ඉදිරි වසරවල දී විශාල මූල්‍ය අවශ්‍යතා අඛණ්ඩව පැන නඟිනු ඇතැ යි ද IMF ප්‍රකාශ කළේය.

2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 94%ක් වූ රාජ්‍ය ණය, 2021 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ඉහළගොස් ඇතැ යි පුරෝකථනය කර ඇත.

IMF පවසන්නේ 2019 අග භාගයේ විශාල බදු කප්පාදුව ඇතුළු ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා උග්‍ර වූ රාජ්‍ය ණය තිරසරභාවයට ඇති ඉහළ අවදානම් හේතුවෙන් රට බාහිර කම්පනවලට බෙහෙවින් ගොදුරුවූ බව යි.

වත්මන් ප්‍රතිපත්ති සහ බදු කප්පාදුව හේතුවෙන් රාජ්‍ය මූල්‍ය හිඟය 2022-26 දක්වා දරුණුවට පවතිනු ඇතැ යි පුරෝකථනය කර ඇත.

මධ්‍යකාලීනව රාජ්‍ය ණය තවදුරටත් ඉහළ යනු ඇතැ යි ද නිවේදනයක් නිකුත් කරමින් IMF සඳහන් කළේ ය.

සාර්ව ආර්ථිකය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළහ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF විධායක මණ්ඩලය කියා සිටියේ ය.

වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයකට ක්‍රමානුකූලව නැවත පැමිණීම ද ඔවුන්ගේ නිර්දේශයක් වේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයන් ගැනීමේ අවශ්‍යතාවද IMF විධායක මණ්ඩලය පෙන්වා දී ඇත.

"අර්බුදය පාලනයට නතුකර ගැනීමේ උවමනාවක් නැහැ" - අමාත්‍ය විමල් වීරවංශ

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඔවුන්ව අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට පෙර චෝදනාකර සිටියේ අර්බුදය පාලනයකර ගැනීමේ අවශ්‍යතාවක් රජයට නැතැ යි පෙනෙන බව යි.

"මේ වගේ අර්බුදයක් තියන වෙලාවක මුදල් ඇමති සහ මහ බැංකු අධිපති අතරේ සාකච්ඡාවක්, සංවාදයක් නැතැනම් ඒකෙන් පෙන්නේ අර්බුදය පාලනයට නතුකර ගැනීමේ උවමනාවක් නැහැ කියලා," ඔහු ප්‍රකාශ කළේ ය.

"අද කලු සල්ලි ඩොලර් වෙළෙඳපොළක් හැදිලා ප්‍රබල වෙලා. ලෝකයෙ කොහේ රටකවත් කිසිම මුදල් ඇමති කෙනෙක් ගැන මම අහලා නැහැ කළු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ කළු සල්ලි පුලුවන් තරම් ප්‍රවර්ධනය නොවෙයි කරන්න ඕනේ, එකේ ක්‍රියාකාරීත්වය දුර්වල කරන්න ඕනේ. නීත්‍යානූකූල මාර්ගයෙන් සල්ලි එන්නේ නැහැ."

"දකුණු කොරියාවේ රැකියා කරන තරුණ දරුවෝ 90%ක් සල්ලි එවන්නේ උන්ඩියල්වලින්. උන්ඩියල් වැඩෙන්න දීලා බලන්න ඉන්නවා. මෙහෙ හිඳෙනවා. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් එන ඩොලර් ගඟ තර වෙනවා. ඒක වැඩෙන්න දීලා බලන් ඉන්නවා. බලන් ඉන්නවා විතරක් නොවේ, ඒක ප්‍රශ්නයක් නැහැ කියලත් කියනවා."

"ඒක ප්‍රශ්නයක් නැහැ කියන්නේ මේක හතර ගාතෙන් හොම්බ බිම ඇනගත්තට පස්සේ එහෙම බලා ඉන්න එක්කෙනාට මොකද්ද ලැබෙන සංතෝසම? හොඳ විශ්‍රාම ජීවිතයක්. උපන්බිමේ හරි වෙනත් බිමක හරි. මේ අපේ රට එක්ක යි මේ සෙල්ලම් කරන්නේ. අපිට ඩබල් රටවැසි භාවයක් නැහැ. එක යි තියෙන්නේ. ඉන්න හරි මැරෙන්න හරි ඔක්කම තියෙන්නේ මෙතන," විමල් වීරවංශ පවසා සිටියේ ය.

"ආණ්ඩුවක් ඕනේ මුහුදේ තියෙන නැව දිහා බලලා තීරණ ගන්න නෙමෙයි. මේ සමස්ථ අර්බුදය දිහා ගැඹුරින් බලන්න. මේ සමස්ථ අර්බුදයෙන් ගොඩ එන මාවත හරියට හදන්න. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕනේ."

විමල් වීරවංශ පවසන්නේ අද රටේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය විශේෂඥ සහාය ලබාගත යුතු බවයි.

"තමන්ට මේ සියල්ල තේරෙනවා, මගේ මොළෙයි ඉතුරු තව හයයි ඔක්කම තියෙනවා, ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ, මට මොනවට ද විශේෂඥ සහාය? මම හිතන විදිහට ඒ ඔක්කොම වෙනවා නම් ඒ මදෑ. ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය තීරණය කරන්න බැහැ. මෙතන තියෙන්නේ විශේෂඥ සහාය ගන්න ඕනේ. සමහරු කියනවා IMF කියලා. IMF නෙමෙයි ඕන තරම් තියෙනවා විශේෂඥ සහාය දෙන ආයතත. හදන්න ඕනේ ප්ලෑන් එකක්. ඒ සැලැස්ම හදලා යන්න ඕනේ ණය දීපු අය හම්බ වෙන්න," ඔහු පැවසීය.

"මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විදින රටක මහ බැංකු අධිපතිව හම්බ වෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම්, මහ බැංකු අධිපති කියන නිර්දේශ ක්‍රියාත්මක කරන්න වෙලාව නැත්නම්, එක්කෝ මේක කෙලවාගන්න ඉඩ දී බලන් සිටිනවා. මේක මෙහෙම නොකියා හුරතල් කරන්න බැහැ තවදුරටත්. හුරතල් කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මේ රට තියෙන්නේ," ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, මේ වන විට විමල් වීරවංශ අමාත්‍යධුරයෙන් පහකර තිබේ.

Wimal out of cabinet

ඡායාරූප මූලාශ්‍රය, Presidential Media Unit

"මේ ව්‍යසන අස්සේ මහ ලොකු හොරකමක් සිද්ධ වෙනවා ද?"

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා සිටියේ, රටේ මේ තරම් දරුණු අර්බුදයක තිබියදීත් දැවැන්ත හොරාකෑමක් සිදුවනවාදැ යි සැකසහිත බව යි.

"මේ ව්‍යසන අස්සේ මහ ලොකු හොරකමක් සිද්ධ වෙනවා ද? අපි කිව්වා ජනවාරි 18 වැනිදා සෛවරීත්ව බැඳුම්කරේ ගෙව්ව කට්ටියගේ ලයිස්තුව දෙන්න කියලා, මේක ගෙවන්නේ යම් කිසි පුද්ගලයෝ කණ්ඩායමකට අති විශාල ප්‍රතිලාභයක් දෙන්න කියලා අපි කිව්වා. සමහරු ගත්තා ඩොලර්වලින් ගණන් හදලා වාර්ෂික ප්‍රතිලාභය සියයට සීයයයක ප්‍රතිලාභ ගත්තා ඩොලර්වලින්. මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන්ම හොරකම් කරලා තියෙනව කියලා එළියට එනවා," ඔහු චෝදනා කළේ ය.

"මේ මහා දැවැන්ත අර්බුදය ඇතුළේ කවුරුහරි කණ්ඩායමක් ඉන්නව ද මේකෙන් ඩොලර් ප්‍රකෝටි ගණන් ප්‍රතිලාභ ගන්න? යම්කිසි ගජමිතුරු කල්ලියකගේ අවශ්‍යතාවන් සඳහා ඔවුන් සංතෝෂ කිරීම සඳහා ද මිලියන 22ක් වූ ජනතාව මත මෙච්චර මහ ලොකු දුකක් පටවලා තියෙන්නේ?" මන්ත්‍රීවරයා සැක පළකළේ ය.

විශේෂඥයින් පවසන්නේ රටේ මතුව ඇති බලශක්ති අර්බූදය ද යම් පිරිසක් තම වාසියට හරවා ඇති බවයි.

ඔවුන් පවසන්නේ දිගුකාලීන පදනම මත තෙල් ලබා නොගෙන එදිනෙදා වරායට පැමිණ තෙල් නැව්වලට ඉතා ඉහළ මිලක් ගෙවීම් කර ඉන්ධන ලබා ගැනීමෙන් රටට විශාල පාඩුවක් සිදුවන බවයි. යම්කිසි පිරිසකට මෙය වාසි සහගත වන බවට ඔවුහු චෝදනා කර සිටියහ.

බලශක්ති අමාත්‍යංශය පවසන්නේ රටේ පවතින විදේශ නිනිමය අර්බුදය හමුවේ එම ආයතන ණයවර ලිපි (Letter of Credit) පිළිනොගැනීම මත මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බවයි.