කබ්රාල්ට ඇප;විදෙස් ගමන් තවදුරටත් තහනම්

අජිත් නිවාඩ් කබ්රාල්ට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අජිත් නිවාඩ් කබ්රාල්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (ඔක්තෝබර් 26 වැනිදා) නියෝග කළේ ය.

ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

අධිකරණය නියෝග කළේ සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂ 10ක් බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (ඔක්. 26) යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරුණි.

මෙහිදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ය. පැමිණිලිකරු මෙම නඩුව ගොනුකර ඇත්තේ සාධාරණ හේතු නොමැතිව බව ද ඔහු කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් නොවැම්බර් 24 වැනිදා විරොධතා ගොනුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම නියෝග කළේ ය.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්ට පසුගිය මැයි දෙවැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ද මීට පෙර නියෝගයක් නිකුත්කර තිබුණි.

ඒ, සාපරාධී විශ්වාසය කඩ කිරීම, බැංකුකරුවෙකු විසින් කරනු ලබන සාපාරාධී විශ්වාසය කඩ කිරීම, සහ මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහයට යටතට හා සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා සයක් ගොනුකරමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රංජිත් කීර්ති තෙන්නකෝන් අධිකරණයට කළ පැමිණිල්ලට අනුව යි.

චෝදනා මොනවා ද?

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පහත පරිදි වේ:

  • 2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනෙක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින්, තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින් සාපරාධී විශ්වාසය කඩකිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහය යටතට ගැනෙන වැරදි සිදුකිරීම
  • 2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ අභ්‍යන්තර රහස් තොරතුරු වංක සහ සාවද්‍ය ලෙස පරිහරණය කරමින්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන බැංකුකරුවෙකු සිදුකරනු ලබන සාපරාධී විශ්වාසය කඩකිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම
  • 2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙඳපොළ නියෝජනය කරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් ලෙස සිටිය දී ඒ බව අනාවරණය නොකර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින්, ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැනෙන වැරදි සිදුකිරීම
  • 2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් ලබා දෙමින්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ බැංකුකරුවෙකු විසින් සිදුකරනු ලබන සාපරාධී විශ්වාසය කඩකිරීම මඟින් වරදක් සිදුකිරීම
  • 2006ක් වූ ජුලි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ජනවාරි 08 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි යන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් ලබාදෙමින්, එකී මුදල වංක ලෙස සහ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම
  • 2021 සැප්තැම්බර් 15 දින හෝ ඊට අසන්න දිනකට සිට 2022 අප්‍රේල් 04 වැනි දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටිමින්, 2022 ජනවාරි මස 18 වැනි දින හෝ ඒ ආසන්නයේ දී කල්පිරිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුත් ස්වෛරී බැඳුම්කරයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි සහ අප්‍රතිකාරී හානි ගෙනදෙන පරිදි පැමිණිල්ල විසින් නම නොදන්නා පර්ශවයන් වෙත වාසි සැලසෙන පරිදි ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් 2022 ජනවාරි මස 18 වැනි දින හෝ ඒ ආසන්නයේ දී ගෙවා, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තියේ සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු කටයුත්තක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, මහ බැංකු අධිපතිධුරය දැරූ සමයේ සිදුකළ බව කියන රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම නියෝග නිකුත් කළේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනුකළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

එම පැමිණිල්ලට අනුව ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුත් ස්වෛරී බැඳුම්කරයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි සහ අප්‍රතිකාරී හානි ගෙනදෙන පරිදි පැමිණිල්ල විසින් නම නොදන්නා පර්ශවයන් වෙත වාසි සැලසෙන පරිදි ශ්‍රී ලංකා ජනරජයට අයත් මුදලින් 2022 ජනවාරි මස 18 වැනි දින හෝ ඒ ආසන්නයේ දී ගෙවා, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වැනි වගන්තියේ සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම.

2006 වසරේ ජූලි මස පළවෙනිදා සිට 2015 වසරේ ජනවාරි මස 8 වැනිදා යන කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් අමාත්‍ය මණ්ඩලය හෝ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමෙරිකා එක්සත් ජනපදයේ ඉමාඩි ෂා සුබේරි නැමැත්තාට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීමෙන් සාපරාධී වරදක් කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොලේ විකුණා එමඟින් ශ්‍රී ලංකා ජනරජයට රුපියල් බිලියන 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින්, සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහය යටතට ගැණෙන වැරදි සිදුකිරීම, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන බැංකුකරුවෙකු සිදුකරනු ලබන සාපරාධී විශ්වාසය කඩ කිරීම මඟින් එම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකිරීම, ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැණෙන වැරදි සිදුකිරීම.

පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන ජූනි මස 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අජිත් නිවාඩ් කබ්රාල්ට සිතාසි ද නිකුත්කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදීමට ද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේ ය.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාලව අජිත් නිවාඩ් කබ්රාල්ට මැයි දෙවැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ද මීට පෙර නියෝගයක් නිකුත්කර තිබුණි.

ඒ, සාපරාධී විශ්වාසය කඩ කිරීම, බැංකුකරුවෙකු විසින් කරනු ලබන සාපාරාධී විශ්වාසය කඩ කිරීම, සහ මුදල් වංක ලෙස හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මඟින් දණ්ඩනීති සංග්‍රහයට යටතට හා සුරැකුම්පත් හා විනිමය ආඥා පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා සයක් ගොණු කරමින්, හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රංජිත් කීර්ති තෙන්නකෝන් අධිකරණයට කළ පැමිණිල්ලකට අදාලව යි.

ඒ අනුව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නැවත සිතාසි නිකුත්කර ඇත.

ඒ, ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කෙරුණු සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.