ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇමරිකාවේ නඩු: "පැමිණිල්ල විවෘත කෙරේ"

ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 11 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 11 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගොනු කරන ලද පැමිණිල්ල එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු විසින් අද (අප්‍රේල් 16) විවෘත කරනු ලැබ ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (Centre for Justice and Accountability) පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේදී සිවිල් නඩු කටයුත්තක් ආරම්භ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක් කිරීම යන චෝදනා යටතේය.

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වෙනුවෙන් ඉහත කී නඩුව පවරනු ලැබුවේ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA) විසිනි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට එරෙහිව ඇමරිකාවේදී නඩු පැවරීම හඳුන්වනු ලබන්නේ "දේශපාලන උවමනාවක් මත" සිදු වූවක් ලෙසය.

මේ අතර යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසන පරිදි නොතීසි භාර දීමෙන් පසු නඩුවේ අඩංගු චෝදනාවලට පිළිතුරු දීම සඳහා චූදිතයාට සති තුනක කාලයක් හිමි වේ.

අදාළ නොතීසිය (Notice) තමන් වෙත ඇමරිකාවේදී පෞද්ගලිකව ම භාර දුන් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ "එහෙ නීතිය අනුව ඒ සිවිල් නඩුව සම්බන්ධයෙන් ඒ අය මට සිතාසි භාර දිය යුතුයි. ඒ සිතාසි භාර දෙන්නේ ලංකාවේ වගේ නොවෙයි සිවිල් ආයතන මගින්. නමුත් මම සලකන අන්දමට මට තාම හරියට භාර දී නැහැ" යනුවෙනි.

ඔහු ඒ බව සඳහන් කළේ ඇමරිකාවේ සංචාරය නිම කර අප්‍රේල් 11 වෙනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

කෙසේ නමුත් නඩුවේ විධිමත් දැනුම්දීමක් චූදිතයා වෙත අප්‍රේල් 07 වෙනිදා පෞද්ගලිකව භාර දී ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ සඳහා පෞද්ගලික විමර්ශකයෙකුගේ සහාය ලැබුණු බවත් එහි සඳහන් වේ.

මීළඟ පියවර කුමක්ද?

ගෝඨාභය සහ ලසන්ත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අදාළ චෝදනාවලට සති තුනක් ඇතුළත ලබා දිය යුතු පිළිතුරු මගින් නඩුවේ ගොනු කර ඇති චෝදනා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සහ නඩුව අස් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.

"ඔහු එසේ පිළිතුරු දෙන්නේ නැතිනම් නඩුව ඔහුගේ සහභාගීත්වයෙන් තොරව ද ඉදිරියට යනු ඇත. එමගින් අධිකරණය විසින් ඔහුට විරුද්ධව අපගේ නඩුවේ ශක්තිය සලකා බලනු ඇත" යනුවෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මේ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ අදාළ නඩු කටයුත්ත නිෂ්ප්‍රභ කිරීමට ඇමරිකාවේ සිටින සිය නීතිවේදීන් කටයුතු කරමින් සිටින බවය.

මොකක්ද මේ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය?

යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය යනු වධ හිංසා, යුද අපරාධ, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැලැක්වීම සඳහා කටයුතු කරන ආයතනයකි.

යුද පුවත් වාර්තාකාරිනියක වන මරී කොල්වින්ගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය සිරියාවේ අසාද් පාලනයට එරෙහිව ඇමරිකාවේදී නඩු ගොනු කළ අතර ඒ සඳහා සිරියානු ආණ්ඩුව වගකිව යුතු බව 2019 වසරේ ජනවාරි මස තීන්දු විය.

එමෙන්ම ජනප්‍රිය ගායකයෙකු සහ ක්‍රියාධරයෙකු වූ වික්ටර් හාරාගේ ඝාතනය සම්බන්ධයෙන් ද යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය ඇමරිකාවේදී නඩුවක් පවරන ලද අතර චිලී රාජ්‍යයේ හිටපු හමුදා නිලධාරියෙකු ඒ සඳහා වරදකරු බව 2016 වසරේදී තීන්දු විය.

ගෝඨාභයට එරෙහි ඇමරිකාවේදී 'තවත් නඩුවක්'

දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරයි.