රෝ කුමන්ත්‍රණ චෝදනාව: ශ්‍රී ලංකා ජනාධිපති සහ ඉන්දීය අගමැති සංවාදය ගැන "පරස්පර ප්‍රකාශ"

ජනපති මෛත්‍රී සහ අගමැති මෝදි

ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ඇති වූ දුරකතන සංවාදය ගැන දෙපාර්ශවය පළ කරන පරස්පර විරෝධී ප්‍රකාශ මගින් අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට පෙර ආණ්ඩුවේ ඇති පටහැනි භාවයන් පෙන්නුම් කරන බව හින්දු පුවත්පත බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 18) වාර්තා කර තිබේ.

ජනාධිපති සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර දුරකතන සංවාදයේදී දෙරටේ නායකයින් ඉතා සුහදශීලි කතාබහක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ඉන්දීය රෝ ඔත්තු සේවය (RAW -Research and Analysis Wing) ගැන හෝ "ජනපති ඝාතන කුමන්ත්‍රණ" චෝදනා ගැන නායකයන් දෙදෙනා එහිදී සාකච්ඡා කළ බවට එම නිවේදනයේ කිසිදු සඳහනක් නොවීය.

කෙසේ නමුත්, ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මුලින්ම සඳහන් වූයේ, ඉන්දීය 'රෝ' ඔත්තු සේවය තමන් ඝාතනය කිරීමට සැරසෙන්නේ යයි තමන් කළ බව පවසන ප්‍රකාශ ඇතුළත් වාර්තා ශ්‍රී ලංකාවේ ජනපති ප්‍රතික්ෂේප කළ බවය.

PMINDIA

ඡායාරූප මූලාශ්‍රය, PMINDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයට වඩා ඔබ්බට ගොස් තිබිණ

රටවල් දෙක අතර හොඳ හිත පළුඳු කිරීම මෙම වැරදි වාර්තාවල අරමුණ වී ඇති බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා ඇතැයි එහි සඳහන් වේ. මෙම වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා දැනුවත් කළ බව එම වාර්තාවේ දැක්වේ.

ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය තමා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යයි ජනපති කළ බවට පළවූ හින්දු පුවත්පතේ වාර්තාව මගින් පැන නැගීමට ගිය රාජතාන්ත්‍රික ගැටලුව විසඳීම පිණිස දැඩි වෙහෙසක් ගැනීමට ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා රජයට බදාදා (ඔක්තෝබර් 17) සිදුවිය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකතන කතාබහක්, ඉන්දීය තානාපතිවරයා සමග සාකච්ඡාවක් හා නිල නිවේදන තුනක් නිකුත් කරමින් ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය තමා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යයි තමන් ප්‍රකාශ නොකළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

'අපේ මතය නොවේ'

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයට අදාළව අත්අඩංගුවේ පසු වන ඉන්දීය ජාතිකයා ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවයේ සාමාජිකයෙකු බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ මතය නොව විරවංශ මන්ත්‍රීවරයාගේ "පෞද්ගලික අදහසක්" පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

බදාදා බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී විමල් විරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා රෝ ඔත්තු සේවයේ පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීමෙහි යොදවා සිටි අයෙකු බවය.

"මේ ඉන්දීය ජාතිකයා කවුද? අපි සොයා බැලුවා''

"මොහු ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දී තිබෙන නම නොවෙයි, රෝ සංවිධානයේ භාවිත කරන්නේ. ඒ අනුව ඔහුගේ නම රාජේන්ද්‍ර කුමාර්. රෝ සංවිධානය මේ රාජේන්ද්‍ර කුමාර්ට ලබා දුන් හැඳුනුම්පත් අංකය තමයි, RB317217/VJ," විමල් විරවංශ මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී හෙළිදරව්වක් කරමින් කියා සිටියේය.

The Hindu

ඡායාරූප මූලාශ්‍රය, The Hindu

කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා නගන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවය ද එම මතය 'තම පාර්ශවයේ මතයක් නොවන' බවට ඉන්දියාවට දැනුම් දී ඇති බව ඔහු පැවසුවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 20 වෙනි දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර මෙම ආන්දෝලනයත් සමග ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය ගැන දැඩි අවධානයක් යොමුවී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, වසර හතරකට පසු බදාදා (ඔක්තෝබර් 17) ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වී තිබේ.

ආරක්ෂක ප්‍රධානීන් ද සහභාගි වී සිටි එම සාකච්ඡාවේ ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්වූ බව එම සාකච්ඡාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

එම සාකච්ඡාවට එක්ව සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉන්දීය රෝ ඔත්තු සේවය ගැන ප්‍රකාශ කිහිපයක් සිදුකළ නමුත් ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් පළ නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

තවත් තොරතුරු:

'නොකළ කතාව' ගැන පරීක්ෂණයක්

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නොකළ කතාවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ආමාත්‍ය මහින්ද සමරසිංහ බ්‍රහස්පතින්දා (18) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"මේ අය හිතාමතා සංවිධානාත්මකව කැබිනට් මණ්ඩලයේ කතා නොවූ දෙයක්, මේ වැරදි ප්‍රවෘත්තිය, වගකීමකින් තොරව, මාධ්‍යවේදීන්ට කතාකරලම කියපු දෙයක්."

"හොඳ වෙලාවට ජනාධිපතිතුමා ක්ෂණිකව ගත් පියවර නිසා දැන් ඒ ප්‍රශ්නය ඉවරයි. මේක බරපතල දෙයක් ඇත්තටම, මෙවැනි දෙයක් කවුද කරේ කියලා, කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එක සෙවීම ආණ්ඩුවේ වගකීමයි," අමාත්‍ය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

NAmal Rajapaksa/Facebook

ඡායාරූප මූලාශ්‍රය, NAmal Rajapaksa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය "හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ මතය නොවෙයි"
ශිරාල් ලක්තිලක

ඡායාරූප මූලාශ්‍රය, Shiral Lakthilake/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ සම්පූර්ණ විශ්වාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි තියෙනවා. නමුත් මෙය වක්‍රව හෝ සෘජුව යටපත් කරන්න ගන්න උත්සාහය අපි කියනවා දේශපාලනිකයි කියලා"

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා

"ජනපති ඝාතන කුමන්ත්‍රණයට" සම්බන්ධ බවට චෝදනා ලබා වැඩ තහනමට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා බ්‍රහස්පතින්දා (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මෙම ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන බ්‍රහස්පතින්දා සවස විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණි.

ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ අවතක්සේරුවට ලක්කිරීමට සංවිධානාත්මක උත්සාහයක් ඇති බවට එහිදී චෝදනා නැගූ ඔහු, මෙම ඝාතන කුමන්ත්‍රණය "ප්‍රලාපයක් සහ දේශපාලන උප්පරවැට්ටියක්" ලෙස හඟවමින් එය පසෙක ලෑමට ඇතැමුන් උත්සාහ ගන්නා බව ද සඳහන් කළේය.

"අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ඝාතන තැත පිළිබඳව. අපේ සම්පූර්ණ විශ්වාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි තියෙනවා. නමුත් මෙය වක්‍රව හෝ සෘජුව යටපත් කරන්න ගන්න උත්සාහය අපි කියනවා දේශපාලනිකයි කියලා."

ඝාතන කුමන්ත්‍රණ චෝදනාව එල්ලවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව තර කර ඇති බව ද නීතිඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් සඳහන් කළේය.