ශ්‍රී ලංකා ජනපති ඝාතන චෝදනාව: ඉන්දීය ඔත්තු සේවය හා බැඳුණු "හින්දු පුවත්පත් වාර්තාව වැරදියි"

The Hindu

ඡායාරූප මූලාශ්‍රය, The Hindu

ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය (Research and Analysis Wing) තමා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා රජය පවසයි.

තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය සැලසුම් කරන්නේ යයි අඟහරුවාදා (16) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබිණි.

CIA සංවිධානයේ කටයුතු පිළිබඳව අමෙරිකානු ජනපති ට්‍රම්ප් නොදන්නා සේම, මෙම ඝාතන සැලසුම පිළිබඳව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි නොදන්නවා විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පවසා ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

'ද හින්දු' පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා කළ බව කියන මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගි වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් තහවුරු කර ගත් බවය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

කෙසේ වුවත් බදාදා (ඔක්තෝබර් 17) කොළඹදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බීබීසි සිංහල සේවය ඒ ගැන කළ විමසීමට පිළිතුරු දෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, ජනපති ඝාතන කුමන්ත්‍රණයට ඉන්දීය රෝ ඔත්තු සේවය සම්බන්ධ කර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඝට්ටනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බවය.

AFP/The Hindu

ඡායාරූප මූලාශ්‍රය, AFP/The Hindu

"එතුමා එතනදී කිව්වේ, දැන් මේකට රෝ ඔත්තු සේවයත් සම්බන්ධ කරගෙන ඉන්දියාවෙන් ආපු පුද්ගලයා රෝ එකේ කියලා, ඉන්දියාවත් අපිත් අතර ඝට්ඨනයක් ඇති කරන්න ක්‍රියා කළා කියලා. එහෙම නැතුව රෝ එක කළා කියලා නෙවෙයි," අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව හෙළි කළ නාමල් කුමාර නමැත්තා හමුවීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුණ ඉන්දීය ජාතිකයකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියි. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පළවන කරුණු ගැන පමණක් ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී අදහස් දැක්වූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

වැඩිදුරටත් කියවන්න:

එහිදී කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි වී සිටි මෙම පුවත වාර්තා කළ හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය පැවසුවේ, රෝ ඔත්තු සේවය තමන් ඝාතනය කිරීම සැලසුම් කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළැයි කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් සිව් දෙනෙකු තමන්ට සහතික කළ බවය.

කෙසේ නමුත් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, ජනාධිපතිවරයා කිසිසේත්ම එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවය.

"මේ වාර්තාව සම්පුර්ණයෙන්ම වැරදියි. ජනපති එවැනි ප්‍රකාශයක් කළේ නැහැ," ඔහු දැඩි ලෙස අවධාරණය කර සිටියේය.

අමාත්‍ය රාජිත සේනාරත්න
ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ වාර්තාව සම්පුර්ණයෙන් ම වැරදියි, ජනපති එවැනි ප්‍රකාශයක් කළේ නැහැ" - සම කැබිනට් ප්‍රකාශක

ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ඝාතන කුමන්ත්‍රණයක් ගැන යම් ප්‍රකාශයක් කළේ දැයි ඒ අවස්ථාවේ බීබීසීය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඝාතන කුමන්ත්‍රණ චෝදනාව හා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන තමන් දැනුවත් කර නොමැති බව පමණක් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව සඳහන් කළේය.

මේ අතර, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් කිරීමට බව පවසමින් ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක අඟහරුවාදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ නමුත් අවසන් මොහොතේ එය අවලංගු කිරීමට කටයුතු කර තිබිණි.

ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ එක්සත් ජාතික පක්ෂය සහ පොලිසිය යට ගසන්නේ යයි ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන බව බීබීසි සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් කියා සිටියේය.

මෙම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර බදාදා (17) ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, "පරීක්ෂණ අවසන් කිරීමකින් තොරව එලෙස අත්අඩංගුවට ගැනීම් කළ නොහැකි" බවය.

"ඝාතන ක්‍රමන්ත්‍රණ ගැන ඔය කියන හඬ පටවල නැහැ. ඒ නිසා නිසි විමර්ශනයක් සිදුවිය යුතුයි," ඔහු කියා සිටියේ ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය ද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් නොකළ බව සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, PMD

"මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා පදනමකින් තොර හා සාවද්‍ය ඒවා" බව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

"රජයේ ඉහළම මට්ටමෙන්ද ඇතුළුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ඉතාමත් ශක්තිමත් බවද, එම සබඳතා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමද ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන බවද අමාත්‍යාංශය (විදේශ කටයුතු) අවධාරණය කරයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සන්දර්භයෙහි තබා නොසලකමින්, මේ ආකාරයේ කාරණා, විකෘති කරන ලද අසත්‍ය පුවත් වාර්තාවල විෂය බවට පත්වීම කනගාටුවට කරුණකි," යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිතව සිටියදී මෙලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට දැඩි ප්‍රශ්නයක් ඇති කළ හැකි ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදුකළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.