ශ්‍රී ලංකාව කැළඹු ජනපති, ගෝඨාභය "ඝාතන කුමන්ත්‍රණය" සහ නාමල් කුමාරගේ "හෙළිදරව්ව"

ඡායාරූප මූලාශ්‍රය, PSD/Getty Images
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැළසුම් කරන බවට කළ හෙළිදරව්ව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ප්‍රබල අවධානයට ලක්වූ පුවතකි.
දුෂණ විරෝධී බලකාය නම් සංවිධානයක් නියෝජනය කරන නාමල් කුමාර නම් පුද්ගලයෙක් පොලිස් ප්‍රධානීන් ගැන එම හෙළිදරව්ව කළේ පසුගිය සැප්තැම්බර් 12 වෙනි දින මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.
නාමල් කුමාර එදින එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ, මහනුවර දිගන ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධ බවට සැකකෙරන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීම හා බැඳුනු කරුණු කිහිපයක් ගැන අදහස් දැක්වීම සඳහාය.
විශේෂයෙන්ම අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවරදී අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන විශේෂ හෙළිදරව්වක් කිරීම එම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිසියේ සෙසු නිලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට නාමල් කුමාර මුලින්ම එහිදී චෝදනා කළේය.
'ජනපති ඝාතන කුමන්ත්‍රණය'
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමාජ මාධ්‍ය යොදාගෙන පොලිසියේ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට චෝදනා කරන ලෙස ඉල්ලන බව පැවසෙන හඬ පටයක් ද ඔහු මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිස මහනුවර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ අසත්‍ය තොරතුරු මත පදනම්ව බවට ද ඔහු එහිදී චෝදනා කළේය.

ඉන් අනතුරුව ඔහු ඉදිරිපත් කළේ අගමැතිවරයාට "ලකුණු වැටෙන ලෙස" යම් වැඩපිළිවෙලක් සකස්කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ බව පැවසෙන ඉල්ලීමකි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ හඬ පටයේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර සම්බන්ධයක් ගැන ද අදහස් පළවේ.
ඉන් අනතුරුව අදහස් දැක්වූ ඔහු, පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන මාකඳුර මදුෂ් මාර්ගයෙන් ජනාධිපතිවරයා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැලසුම් කර තිබූ බවත් සඳහන් කළේය.
මිට මාස දෙකකට පමණ ඉහතදී එම සාකච්ඡාව සිදු වූ බව එහිදී සඳහන් කළ නාමල් කුමාර, ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම හෙළිදරව්ව කරන බවත් කියා සිටියේය.
කෙසේ වුවත් ජනපති ඝාතනයක් ගැන අදහස් දක්වන හඬ පටයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරුණු හඬපට අතර නොවීය.
තවත් කියවන්න:
නව සංවිධානයක නමින්, මින් පෙර නොදැන සිටි තරුණයකු සිදු කළ එම හෙළිදරව්වට පළමු දිනයේ මාධ්‍යවල පවා එතරම් අවධානයක් යොමුවී නොතිබුණි.
කෙසේ වුවත් පසුගිය බ්‍රහස්පතින්දා ඒ ගැන රටේ අවධානය යොමුවූයේ ජනපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන උත්සාහය ගැන නාමල් කුමාර කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන මෙන් ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවේ ඉල්ලා සිටීමෙන් අනතුරුවය.
එදිනම නාමල් කුමාර ද ජාතික පොලිස් කොමිසමට මේ ගැන පැමිණිලි කර තමන් කරන චෝදනා ගැන විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය.
නාලක සිල්වාගේ ප්‍රතිචාරය
දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර එල්ලකළ චෝදනා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප්‍රතික්ෂේප කර තිබූ අතර අදාළ හඬපට ව්‍යාජ ඒවා බවත් ඔහු පොලිස් ප්‍රධානීන්ට පවසා තිබුණි.
ඒ සමගම පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 13) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළත්, ජනාධිපතිවරයාගේ නියෝගයක් මත අදාළ පරීක්ෂණය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබිණ.

"අද හෙට ඒගොල්ලෝ ඒ ගැන මූලික වාර්තාවක් හදලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණය කරයි," ජනාධිපතිවරයා සිකුරාදා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව පොලිසිය සිකුරාදා රාත්‍රියේ නාමල් කුමාරගේ නිවසට ගොස් ඔහුගෙන් පසු දින පාන්දර වනතුරු ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඉන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය භාර දෙන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සඳුදා (සැප්තැම්බර් 17) උදෑසන ඔහු අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.
මෙම පරීක්ෂණය පැවැත්වෙන තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පොලිස් තාක්ෂණ අංශයට මාරු කර යැවීමටද පොලිසිය කටයුතු කර තිබේ.

කවුද මේ නාමල් කුමාර ?
වරකාපොල ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර තමන් හඳුන්වා දෙන්නේ සිංහල ජාතික සංවිධානය සමග එක්ව අන්තවාදයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයෙකු වශයෙනි.
නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම්-දෙමළ ගැටුමක් ඇතිකිරීමට විදේශගතව සිටින පිරිසක් විසින් ගනු ලැබූ උත්සාහයක් පිළිබඳ පැමිණිලි කිරීමට පොලිස්පතිවරයා හමුවීමත් සමග, ඒ මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ඔහුට හඳුනාගැනීමට ලැබී තිබේ. ඉන් අනතුරුව එයින් ගොඩනැගෙන හිතවත්කම මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල නොවන පොලිස් ඔත්තුකරුවකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේ දී එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කර සිටි අරඹේපොල රතනසාර හිමියන් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැනීමට මෙන්ම මහනුවර ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමට තමන් පොලිසියට සහාය දුන් බව නාමල් කුමාර පවසයි.
ගල්කිස්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක් සහ මහනුවර ගැටුම සම්බන්ධ තොරතුරැ ලබාදීම වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාග මුදලක් පොලිසිය විසින් ඔහුට ප්‍රදානය කරනු ලැබ තිබේ.

මෙම හෙළිදරව්වෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක් සපයන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා රජයෙන් ඉල්ලා සිටියේය.
අදාළ හෙළිදරව්ව ගැන පොලිස් විමර්ශන මගින් නාමල් කුමාර නැමැත්තා කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව මුලින්ම සොයාගැනීම සිදුවන බව, මේ ගැන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක පැවසීය.
එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය පදනම් කරගෙන ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර නාමල් කුමාර කළ හෙළිදරවුව මත පදනම්ව, අසත්‍ය තොරතුරු මත සිය සැමියා අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් මහසෝන් බලකායේ අමිත් වීරසිංහගේ බිරිඳ ද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඩෑන් ප්‍රියසාද්ගෙන් චෝදනාවක්
මේ අතර පසුගිය සතියේ නාමල් කුමාර සමග පොලිස් කොමිසමට පැමිණ සිටි ඩෑන් ප්‍රියසාද් සදුඳා (සැප්තැම්බර් 17) මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමින් නාමල් කුමාර දැඩි විවේචනයට ලක් කළේය.
ඔහු "දූෂිතයෙකු" බවට චෝදනා කළ ඩෑන් ප්‍රියසාද්, නාමල් කුමාර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කොට සේවය අත්හැර ගිය පුද්ගලයෙකු බව ද කියා සිටියේය.
නාමල් කුමාර මීට ඉහතදී මත්ද්‍රව්‍ය සම්බන්ධ ජනාධිපත් කාර්ය සාධක බලකායට සම්බන්ධව සිටි තැනැත්තෙකු බව ද හෙළි වී තිබෙන අතර, ඔහු පසුගිය සතියේ මහනුවරදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දෙන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මාධ්‍ය ආයතන හතරකට නියෝග කොට තිබේ.
අදාළ හෙළිදරවුව සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය නාමල් කුමාරගෙන් සඳුදා ((සැප්තැම්බර් 17) පැය 10 ක් පමණ ප්‍රශ්න කොට තිබේ.
තවත් සබැඳි ලිපි:









