දූෂණ විභාග කරන අධිකරණ සංවිධාන පනත "හෙට සම්මත කරනවා"
මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු දින පතා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ අරමුණින් ගෙන එන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත බදාදා (මැයි 09) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගන්නා බව රජය පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය අමතා දහස් දක්වමින් අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල කියා සිටියේ, අදාළ පනත් කෙටුම්පතේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබූ වගන්ති සංශෝධනය කර, එය සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවය.
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පාර්ශව කිහිපයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පනත ගැන තවත් ලිපි:
පසුගිය අප්‍රේල් මස තුන් වෙනි දින එහි තීන්දුව දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවය.
"අපි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදුන් සංශෝධන සිදු කළා. දැන් මේක සරළ බහුතරයකින් සම්මත කළ හැකියි. ඒ අනුව හෙට මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නවා," අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
අදාළ බලතල අගවිනිසුරුවරයාට පැවරෙන පරිදි එම සංශෝධන සිදු කළ බව පැවසූ අමාත්‍යවරිය, ඒ අනුව මෙම විශේෂ අධිකරණයේ විභාග කෙරෙන්නේ කුමන නඩු ද, එහි විනිසුරුවන් කවුරුන් ද යන සියල්ල අගවිනිසුරුවරයා විසින් තීරණය කරනු ඇති බවත් සඳහන් කළාය.
"මේකට විරුද්ධ වෙන්නේ වැරදි කරපු අය. වැරදි කරේ නැත්නම් ඉක්මනින්ම නිදහස් වෙනවා."
මෙම අවස්ථාවට එක්ව සිටි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, පනත සම්මත වීමෙන් පසු අගවිනිසුරුවරයා විසින් තෝරාගන්නා නඩු ඉතා ඉක්මනින් දිනපතා විභාග කර මසක් ඇතුලත පමණ තීන්දු ලබා ගත හැකි වනු ඇති බවය.
ඇතැම් තීන්දු ගැන 'සැකයක්'
දිගින් දිගටම නඩු කල්යන අධිකරණ ක්‍රමය ගැන හා ඇතැම් විනිසුරුවරුන් ලබාදෙන නියෝග ගැන ජනතාව තුල සැකයක් ඇතිවී තිබෙන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"ඇතැම් නඩු මාස 8 කින් කල් දැම්මා. නීතිවේදීන් කියන විදිහට කිසිම නීතියක් නැති අධිකරණ නියෝග සමහර විනිශ්චයකාරවරුන් දුන්නා. මේ විදිහට විශාල සැකයක් ජනතාව තුළ ඇතිවුනා," අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

"දැන් නීතිවේදින්ට තම තමන්ගේ පොත් බලලා දින ගන්න බැහැ. එකඟත්වයෙන් දින ගන්න බැහැ. නඩුවක් ආරම්භ වුනාම ඒ ක්‍රියාවලිය දිනපතා සිදුවෙනවා."
රාජපක්ෂ පාලන සමයට අදාළ චෝදනා මෙන්ම වර්තමාන රජය සමයේ සිදුවූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ චෝදනාව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි අල්ලස් චෝදනාව වැනි චෝදනා සම්බන්ධයෙන් ද මෙම අධිකරණ මාර්ගයෙන් ඉතා ඉක්මනින් නඩු විභාග කළ හැකි බව ද ඇමතිවරුන් දෙපළ පෙන්වා දුන්හ.
පනත සම්මත වුවහොත් අධිකරණ පිහිටුවීමට කෙතරම් කලක් ගතවනු ඇති දැයි විමසූ විට ඇමතිනී තලතා අතුකෝරාල ප්‍රතිචාරය වූයේ "අනිද්දට වුනත් පුළුවන් අගවිනිසුරුගේ අභිමතය පරිදි," යන්නය.
පසුගියදා අල්ලස් කොමිසම මගින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, පසුගිය කාලයේ මෙන් නොව දැන් ආණ්ඩුව බලයේ සිටියදීම ඒ ආණ්ඩුවේ වැරදි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි වාතාවරණයක් රජය ගොඩනගා ඇති බවය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පිළිබඳ තමන්ගෙන් විමසීමක් කළේ නම් ජනාධිපතිවරයාට එම පත්වීම සිදුකිරීමට ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
"ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්වෙලා මාසයයි. ඊට කලින් ඔහු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා. මට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා පිළිබඳව වැඩිදුර තොරතුරු දන්නේ නැහැ කියලයි. මෙම ලේකම්වරයා එම තනතුරට පත් කරන බව මම දැනගත්ත නම් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා ඔහු පත් නොකරන ලෙස. මොකද මීට මාස 6කට කලින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඉඩම් ප්‍රශ්ණයක් පිළිබඳව මෙම පුද්ගලයා සමග සාකච්ඡා කරන විට ඔහු රජය පැත්ත නොව පෞද්ගලික අංශයේ පැත්ත ගැනීම නිසා මට සැකයක් ඇති වී තිබුනා," ඇමතිවරයා කියා සිටියේය.
කෙසේ වුවත් අත්අඩංගුවට ගත් දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායකගේ පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල ද මූල්‍ය චෝදනා කිහිපයක් හේතුවෙන් අත්අඩංගුවට පත්වූවෙකි. ඔහු පොදුජන පෙරමුණේ සිට පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විය.
එවැනි චෝදනා තිබෙන පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවල සභාපතිධුර දීම ගැන විමසීමේදී අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් එයට නිසි පිළිතුරක් නොලැබිණ.
තවත් ලිපි:
- බරපතල දූෂණ, වංචා සහ දඬුවම් දීමේ ඉතිහාසය
- ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් දැලේ
- වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්
- අතුරුදහන් වූවන් පිළිබඳ පනත; රණවිරු දඩයමක්ද?
- "පොලිස් ස්ථානවල, නීතිඥයෙකු නොමැතිව ප්‍රශ්න කිරීම් ගැන සැලකිලිමත් විය යුතුයි"
- මුස්ලිම් විවාහ නීතිය "නවීකරණය විය යුතුයි"
- දූෂණ විමර්ශනයට 'විශේෂ විනිසුරු මඩුල්ලක්'









